කෘත්‍රිම බුද්ධිය (AI) හරහා සිදුවන අනිසි භාවිතයන්ගෙන් සහ විශේෂයෙන්ම ඩීප්ෆේක් තාක්ෂණයෙන් මෙන්ම අනවසර කෘත්‍රිම නිර්මාණවලින් තම කටහඬ, රූපය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා සුප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් වෙළඳ ලකුණු (trademark) අයදුම්පත් ගොනු කර තිබේ. ඇයගේ සමාගම වන TAS Rights Management විසින් 2026 අප්‍රේල් 24 වන දින එක්සත් ජනපද පේටන්ට් සහ වෙළඳ ලකුණු කාර්යාලය (USPTO) වෙත මෙම අයදුම්පත් තුනක් ඉදිරිපත් කර ඇත.
පවතින ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය නොකරමින් කටහඬවල් ක්ලෝන කිරීම සහ සත්‍යයට ඉතා ආසන්න ව්‍යාජ රූප හෝ වීඩියෝ නිර්මාණය කිරීම වැනි නවීන තාක්ෂණයන්ගෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම මෙම නෛතික පියවරේ ප්‍රධාන අරමුණ වී තිබේ.මෙම වෙළඳ ලකුණු ගොනු කිරීම් අතරට කටහඬ ආරක්ෂා කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ශ්‍රව්‍ය ලකුණු (sound marks) දෙකක් සහ එක් දෘශ්‍ය ලකුණක් (visual likeness mark) ඇතුළත් වේ. "Hey, it’s Taylor Swift" සහ එහි කෙටි අනුවාදයක් වන "Hey, it’s Taylor" යනුවෙන් ඇය කතා කරන ශ්‍රව්‍ය කොටස් දෙකක් මෙලෙස ලියාපදිංචියට යොමු කර ඇති අතර, ඒවා ඇයගේ ‘The Life of a Showgirl’ ඇල්බමයේ ප්‍රවර්ධන කටයුතු හා සම්බන්ධ වාක්‍ය ඛණ්ඩයන්ය. මින් අපේක්ෂා කරන්නේ හුදෙක් වචන පමණක් නොව ඇයගේ කටහඬේ ස්වභාවය සහ අනන්‍යතාවය ද සුරක්ෂිත කිරීමයි. මීට අමතරව, ඇයගේ සුප්‍රසිද්ධ ‘Eras Tour’ ප්‍රසංග මාලාවේදී භාවිත කළ, කළු පැහැති පටියක් සහිත රෝස පැහැති ගිටාරය වාදනය කරන, රිදී පැහැති සැරසිලි සහිත වර්ණවත් ඇඳුමකින් සහ බූට් සපත්තු යුගලයකින් සැරසී සිටින නිශ්චිත වේදිකා දර්ශනයක් දෘශ්‍ය ලකුණක් ලෙස ඉදිරිපත් කර ඇත.
ජර්බෙන් අයිපී (Gerben IP) ආයතනයේ වෙළඳ ලකුණු පිළිබඳ නීතිඥ ජොෂ් ජර්බෙන් පෙන්වා දෙන්නේ මෙම නෛතික පියවරයන් කෘත්‍රිම බුද්ධිය මඟින් එල්ල වන තර්ජනවලින් ටේලර් ස්විෆ්ට්ව ආරක්ෂා කිරීම සඳහාම විශේෂයෙන් සැලසුම් කර ඇති බවයි. වර්තමානය වන විට AI තාක්ෂණය යොදාගනිමින් කටහඬ අනුකරණය කිරීම් සහ ඩීප්ෆේක් නිර්මාණය කිරීම ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, ඒ හරහා ඕනෑම අයෙකුට ඇයගේ නමින් නව ගීත, කථා හෝ වෙනත් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ හැකියාව ලැබී තිබේ. විශේෂයෙන්ම 2024 වසරේ මුල් භාගයේදී අන්තර්ජාලය පුරා සංසරණය වූ ව්‍යාජ අසභ්‍ය ඩීප්ෆේක් වීඩියෝ සහ ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන බවට නිර්මාණය කර තිබූ ව්‍යාජ දේශපාලන ප්‍රචාරණ වීඩියෝ (පසුව ඇය විසින්ම එය ප්‍රතික්ෂේප කරන ලදී) හේතුවෙන් ඇය මෙවැනි තාක්ෂණික අපයෝජනයන්හි ප්‍රධානම ගොදුරක් බවට පත්ව සිටියාය.
සාමාන්‍ය ප්‍රකාශන හිමිකම් නීති මඟින් නිශ්චිත පටිගත කිරීම් ආරක්ෂා කළද, කෘත්‍රිම බුද්ධිය හරහා අලුතින් නිර්මාණය කරන ලද අනුකරණයන් ඒ යටතේ ආවරණය නොවේ. එබැවින් වෙළඳ ලකුණු නීතිය භාවිතා කිරීම හරහා ව්‍යාජ අනුකරණයන්ට සහ ඊට අදාළ වේදිකාවලට එරෙහිව නඩු පැවරීම මෙන්ම වන්දි ලබාගැනීම වඩාත් පහසු කරවයි. ශ්‍රව්‍ය ලකුණු යනු කලාතුරකින් භාවිතා වන දෙයක් වුවද, නළුවෙකු වන මැතිව් මැකෝනාහේ විසින්ද මීට පෙර තම කටහඬ සහ වාක්‍ය ඛණ්ඩ කෘත්‍රිම බුද්ධියෙන් ආරක්ෂා කරගැනීමට මෙවැනිම පියවරක් ගෙන තිබූ අතර ඉන්දියාවේ අරිජිත් සිං වැනි කලාකරුවන්ද තම පෞරුෂත්ව අයිතීන් වෙනුවෙන් අධිකරණයේ පිහිට පතා තිබුණි. මෙම නව නෛතික උපායමාර්ගය හරහා වෙළඳ දැන්වීම් වැනි වාණිජමය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය අයුතු ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනීමේ හැකියාව ස්විෆ්ට් හට හිමිවන අතර, එය OpenAI, Suno හෝ Udio වැනි තාක්ෂණික සමාගම් බලපත්‍ර ගිවිසුම් කරා යොමු කිරීමටද බලපෑමක් ඇති කරනු ඇත.
