thalapathy-vijay-who-won-the-chief-ministership-of-tamil-nadu-also-broke-the-record-of-mgr

දැන් තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට සුදුසුකම් ලබා තිබෙන සිනමා නළු තලපති විජේ ඉන්දියා සිනමාවෙන් මෙම පුටුවට අතීතයේදී ආ MGR ගේ වාර්තාවක්ද බිඳ දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. "ඉතිහාසය නැවත පුනරාවර්තනය වේ" යන්න තමිළග වෙට්‍රි කලගම් (T.V.K) පක්ෂයේ නායක, සුපිරි නළු විජෙයි සිය දේශපාලන ආගමනයේදී ප්‍රකාශ කළේය.

1967 වසරේදී අරිඤ්ඤර් අන්නාද, 1977 වසරේදී එම්. ජී. ආර්. ද තමිල්නාඩුවේ මහ ඇමතිවරුන් බවට පත්වූවා සේම මෙවරද තමිල්නාඩුව තුළ දේශපාලන පෙරළියක් සිදුවන බව ඔහු පැවසීය. එම ප්‍රකාශය සනාථ කරමින් මෑතකදී නිමාවූ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී ඔහුගේ පක්ෂය වන තමිළග වෙට්‍රි කලගම් පක්ෂය ආසන 100කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා ඇත.




මෙම ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, තරුණ උපාධිධාරියෙකු වූ අරිඤ්ඤර් අන්නා සිය මුල් කාලයේදී පෙරියාර් සමග එක්ව ද්‍රවිඩර් කලගම් පක්ෂයේ කටයුතු කළේය. පසුව 1949 වසරේ සැප්තැම්බර් 17 වන දින ඉන් ඉවත්ව ඔහු විසින් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් (D.M.K) පක්ෂය ආරම්භ කරන ලද අතර, ඒ සඳහා තරුණ ප්‍රජාව විශාල වශයෙන් එක්රොක් වූහ. ඉන්පසුව හින්දි විරෝධී අරගලයටද D.M.K පක්ෂය එක්වූ අතර, 1967 වසරේ පැවති ප්‍රාන්ත සභා මැතිවරණයේදී එවකට ප්‍රබල පක්ෂයක් වූ කොංග්‍රසය පරාජය කරමින් ඔවුහු බලයට පත්වූහ. ඒ අනුව අන්නා තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ලෙස පත් විය.

එවකට දෙමළ සිනමාවේ අග්‍රගණ්‍ය තරුවක් වූ එම්. ජී. ආර්. ද දීර්ඝ කාලයක් D.M.K පක්ෂය සමග කටයුතු කළ අතර ඔහුට විශාල ජනතා ප්‍රසාදයක් හිමිව තිබුණි. කෙසේ වෙතත්, අභ්‍යන්තර මතභේද හේතුවෙන් 1972 ඔක්තෝබර් 18 වන දින ඔහු ඉන් ඉවත්ව සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් (A.I.A.D.M.K) පක්ෂය පිහිටුවීය. එම පක්ෂය සිය පළමු ජයග්‍රහණය ලෙස දින්ඩුක්කල්හි පැවති අතුරු මැතිවරණය ජයගත් අතර, ඉන්පසු 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොංග්‍රසය සමග සන්ධානගත වී තරඟ කර ආසන 36ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.




අනතුරුව 1977 ජූනි මාසයේ පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී A.I.A.D.M.K පක්ෂය මාක්ස්වාදී කොමියුනිස්ට් සහ ෆෝවර්ඩ් බ්ලොක් යන පක්ෂ සමග සන්ධානගතව තරඟ කළේය. A.I.A.D.M.K, D.M.K, කොංග්‍රස් සහ ජනතා පක්ෂය ලෙස සිව්කොන් සටනක් පැවති එම මැතිවරණයේ ප්‍රතිඵල ජූනි 15 වන දින නිකුත් වූ විට සමස්ත ඉන්දියාවම මවිතයට පත් විය. ප්‍රාන්ත සභා මැතිවරණයකට මුහුණ දුන් පළමු අවස්ථාවේදීම A.I.A.D.M.K පක්ෂය ආසන 130ක් ද, මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය ආසන 12ක් ද දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්හ. ඒ අනුව පැහැදිලි බහුතරයක් සහිතව එම්. ජී. ආර්. ප්‍රාන්තයේ මහ ඇමතිවරයා බවට පත් විය.

එදා පැවති තත්ත්වයට සමානව මෙවර මැතිවරණයේදීද සිව්කොන් සටනක් පැවති අතර, වත්මන් පාලක පක්ෂය මෙන්ම ඊට පෙර පාලනය කළ පක්ෂයද පසුබස්වමින් විජෙයිගේ T.V.K පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇත. එම්. ජී. ආර්. සහ විජෙයි අතර ඇති ප්‍රධාන සමානකම වන්නේ ඔවුන් දෙදෙනාම සිනමාවේ දැවැන්ත තරු වීම සහ අතිමහත් ජනතා ආකර්ෂණයක් දිනා සිටීමයි. කෙසේ නමුත්, එම්. ජී. ආර්. සිය පළමු මැතිවරණයේදී සන්ධානගතව තරඟ කළද, විජෙයි කිසිදු සන්ධානයකට නොගොස් තනිවම තරඟ කර මෙම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයකි.



සිය පළමු මැතිවරණයේදීම තමිල්නාඩුව පාලනය කිරීමේ දැවැන්ත වගකීම ජනතාව විසින් මෙලෙස විජෙයි වෙත පවරා දී තිබේ. ඔහු එදා පැවසූ පරිදිම අද වන විට ඉතිහාසය නැවත පුනරාවර්තනය වී ඇති අතර, ඔහුගේ පක්ෂයේ සාමාජිකයෝ මේ වන විට එම විජයග්‍රහණයේ සතුට මහත් ඉහළින් සමරමින් සිටිති.

thalapathy-vijay-who-won-the-chief-ministership-of-tamil-nadu-also-broke-the-record-of-mgr