ජාතික කලා භවනේ තැන්පත් කර තිබූ මෙරට අතිශය ප්‍රකට ’43 කණ්ඩායමේ’ (43 Group) නිර්මාණ සහ මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර ඇතුළු සිතුවම් 42ක් අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සාහසික ක්‍රියාව පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හත් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
රටම කැළඹූ මෙම අවාසනාවන්ත තොරතුරු සමුදාය පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ නිල වශයෙන් අනාවරණය කරනු ලැබුවේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසිනි. දැනට සිදු කර ඇති මූලික විමර්ශනවලට අනුව පෙනී ගොස් ඇත්තේ ජාතික කලා භවනේ නිලධාරීන් සතු වගකීම් විරහිත සහ විනිවිදභාවයකින් තොර අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මෙම සිතුවම් අස්ථානගත වී ඇති බවයි.මෙම අතුරුදන් වීම් පිටුපස ඇති බරපතළම ගැටලුව වී ඇත්තේ අස්ථානගත වූ ඇතැම් වටිනා චිත්‍රවල නිසි ඡායාරූප හෝ විධිමත් දත්ත ලේඛන කිසිවක් ජාතික කලා භවන සතුව පවත්වාගෙන ගොස් නොමැති වීමයි. මේ හේතුවෙන් එම අතුරුදන් වූ සිතුවම් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. කෙසේ වෙතත් පසුගිය 2008 වසරේදී මුද්‍රණය කරන ලද විශේෂ ඇල්බමයක් ආධාරයෙන් ඉන් චිත්‍ර 14ක් පමණක් හඳුනා ගැනීමට හැකි වී තිබුණද, ඉතිරි චිත්‍ර 28 හඳුනා ගැනීම මේ වන විට බලධාරීන්ට විශාල අභියෝගයක් වී ඇත. තත්ත්වය තවත් බැරෑරුම් කරමින් 1987 වසරේදී පවත්වාගෙන ගිය කලා භවනේ නිල තොග භාණ්ඩ ලේඛනයද (Stock Book) මේ වන විට අභිරහස් ලෙස අතුරුදන් වී තිබීම විශේෂත්වයකි.
ජාතික කලා භවන තුළ දීර්ඝ කාලයක සිට සිදුව ඇති අක්‍රමවත් සහ සැකකටයුතු ගනුදෙනු රැසක්ද මෙහිදී කරළියට පැමිණ තිබේ. විශේෂයෙන්ම පසුගිය 1999 වසරේදී අබලි ද්‍රව්‍ය (Scrap) ලෙස හඳුන්වමින් වටිනා චිත්‍ර 63ක් රුපියල් 1500ක වැනි ඉතා සුළු හා සොච්චම් මුදලකට අලෙවි කර ඇති අතර, එවැනි අලෙවියක් සිදු කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් සතුව කිසිදු නිල ලේඛනයක් සොයා ගැනීමට නැත. මීට අමතරව විවිධ කාල වකවානුවලදී විදේශීය චිත්‍ර ප්‍රදර්ශන සඳහා මෙරටින් රැගෙන ගිය ඇතැම් සිතුවම් ප්‍රදර්ශන නිමවීමෙන් පසුව යළිත් කලා භවන වෙත නිසි පරිදි භාර දී නොමැති බවද වත්මන් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම මහා පරිමාණ සංස්කෘතික මංකොල්ලය සම්බන්ධයෙන් මුල් වරට 2023 වසරේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණද, 2025 වසර වන තෙක්ම ඒ පිළිබඳව කිසිදු සාර්ථක හෝ ක්‍රමවත් විමර්ශනයක් ක්‍රියාත්මක වී නොමැති බව හෙළි වේ. කෙසේ වෙතත් වත්මන් සංස්කෘතික අමාත්‍යවරයාගේ සෘජු නියෝග සහ උපදෙස් පරිදි මේ වන විට අතිරේක පරීක්ෂණ කමිටුවක් පත් කරමින් විධිමත් පරීක්ෂණ කටයුතු කඩිනම් කර ඇත. අස්ථානගත වූ සිතුවම් එකතුව අතර මෙරට බිහි වූ විශිෂ්ටතම කලාකරුවෙකු වන ලයනල් වෙන්ඩ්ට් මහතාගේ අගනා නිර්මාණ මෙන්ම ඩඩ්ලි සේනානායක මහතාගේ රුව රැගත් ඓතිහාසික සිතුවම්ද වන බව තහවුරු වී තිබේ. මෙම ජාතික උරුමයන් සොරකම් කර ප්‍රසිද්ධ වෙළඳපොළට මුදා හැර තිබේද, නැතහොත් ඒවා විනාශ කර දමා තිබේද යන්න නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.
