2026 වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස් බලප්‍රදේශය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෙම පෙරහැර 2026.05.31 දින පැවැත්වෙන අතර, එය නැරඹීම සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පෙරහැර නුගේගොඩ ගුවන් පාලම අසල පිහිටි හයිලෙවල් හන්දියෙන් ආරම්භ වීමට නියමිත අතර, ඉන්පසුව එය හයිලෙවල් මාර්ගය ඔස්සේ ගම්සභා හන්දිය දක්වා ගමන් කරනු ඇත. අනතුරුව ගම්සභා හන්දියෙන් කට්ටිය හන්දියටත්, එතැන් සිට පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරයටත් ගමන් කරන පෙරහැර, ස්ටැන්ලි තිලකරත්න මාවත හරහා නැවතත් හයිලෙවල් හන්දියට පැමිණීමට නියමිතව තිබේ.
මෙම තත්ත්වය මත රාත්‍රී 0700 සිට රාත්‍රී 1000 දක්වා කාලය තුළ හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලමේ සිට ගම්සභා හන්දිය දක්වා කොටසේ කොළඹින් පිටතට ගමන් කරන මංතීරු දෙකම පෙරහැර ගමන් කිරීම සඳහා වෙන් කරනු ලබයි. එම කාලසීමාව තුළ කොළඹ දෙසට වාහන ඇතුළු වන මංතීරු දෙක, කොළඹට ඇතුළු වීම සඳහා එක් මංතීරුවක් සහ කොළඹින් පිටවීම සඳහා තවත් එක් මංතීරුවක් වශයෙන් දෙපසටම රථවාහන ධාවනය සඳහා යොදාගැනීමට කටයුතු යොදා ඇත.
තවද, රාත්‍රී 0800 සිට රාත්‍රී 1100 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දැමෙනු ඇත. මේ සඳහා විකල්පයක් ලෙස, පැපිළියාන දෙසින් පැමිණ කට්ටිය හන්දිය හරහා ජුබිලි කණුව දෙසට ගමන් කිරීමට අපේක්ෂා කරන වාහනවලට, ගම්සභා හන්දියෙන් වම් පසට හැරී නුගේගොඩ නගරයට පිවිස ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ ජුබිලි කණුව දක්වා ධාවනය කළ හැකිය. එමෙන්ම, මිරිහාන වටරවුම දෙසින් පැමිණෙන වාහන පරණ කොට්ටාව මාර්ගය ඔස්සේ මහරගම දෙසට ගමන් කර, ඉන්පසු හයිලෙවල් මාර්ගය ඔස්සේ ගම්සභා හන්දියට පිවිසීමේ හැකියාව පවතී.
මීට අමතරව, රාත්‍රී 0800 සිට මධ්‍යම රාත්‍රී 1200 දක්වා කාලය තුළ පරණ කැස්බෑව මාර්ගයේ නුගේගොඩ නාවල වටරවුමේ සිට දෙල්කඳ හන්දිය දක්වා කොටසද තාවකාලිකව වසා තැබෙනු ඇත. නාවල මාර්ගයේ සිට දෙල්කඳ දෙසට ගමන් කරන වාහනවලට නුගේගොඩ නාවල වටරවුමෙන් වමට හැරී ස්ටැන්ලි තිලකරත්න මාවත හරහා පරණ කොට්ටාව මාර්ගයට පිවිස, මහරගම රොලන්ස් හන්දියෙන් දකුණට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ දෙල්කඳට ගමන් කළ හැකි අතර, විකල්පයක් ලෙස නුගේගොඩ නගරයේ නාවල වටරවුමෙන් දකුණට හැරී හයිලෙවල් මාර්ගයට පිවිස ද දෙල්කඳට යා හැකිය. දෙල්කඳ දෙසින් පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ නාවලට යන වාහන දෙල්කඳ හන්දියෙන් නුගේගොඩ දෙසට ගමන් කළ යුතු අතර, ගුවන් පාලම යටින් නුගේගොඩ නගරයට පිවිසීමට අවස්ථාව ඇත. පෙරහැර හේතුවෙන් මාර්ග වසා තැබෙන මෙම කාලසීමාව තුළ ඉහත සඳහන් කළ විකල්ප මාර්ග භාවිතා කරමින් තම ගමනාගමන කටයුතු සිදුකරන ලෙස ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
