වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගොස් සිටියදී යළි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි රැඳවියෙකු හදිසියේ රෝගී වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.
හෙරොයින් මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 5000ක දඩයක් නියම කර තිබුණි. එම දඩ මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට මාස තුනක සිරදඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇත.පසුගිය 03 වැනිදා පෙරවරු 10.00ට පමණ තවත් රැඳවියන් දෙදෙනෙකු සමග බන්ධනාගාරයේ එළිමහන් ක්‍රීඩාංගණය පිරිසිදු කිරීම සඳහා යොදවා සිටි අවස්ථාවේදී මොහු බන්ධනාගාර නිලධාරීන්ගේ අවධානයෙන් මිදී පළා ගොස් තිබේ. එම අවස්ථාවේදී රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් තිදෙනෙකු යොදවා සිටි බව සඳහන් වේ. පළා යන අතරතුර මෙම පුද්ගලයා විසින් බන්ධනාගාර නියාමකවරයෙකුට අයත් මුදල් පසුම්බියක් සහ ජංගම දුරකථනයක් ද රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
බොරැල්ල වෝඩ් පෙදෙසේ 16 වත්ත ප්‍රදේශයේ මෙම රැඳවියා සැඟවී සිටින බවට ලද තොරතුරක් මත බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඇත. එහිදී නිලධාරීන් සහ රැඳවියා අතර දැඩි පොරබැඳීමක් සිදුව ඇති අතර, මහත් පරිශ්‍රමයක් යොදා ඔහුව යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ. ඉන්පසුව වාට්ටුවක රඳවා සිටි මෙම පුද්ගලයා හදිසියේ රෝගී වී ඇති අතර, එදින රාත්‍රී 8.30ට පමණ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විටත් බන්ධනාගාර අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, බොරැල්ල පොලීසිය විසින් විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා වෙනම විමර්ශනයක් ද ක්‍රියාත්මක කර තිබේ. සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් දස දෙනෙකුගෙන් පමණ බොරැල්ල පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මීට අමතරව අලුත්කඩේ අංක දෙක අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කිරීමට ද නියමිතව තිබේ.
මේ අතර ඉකුත් 27 වැනිදා ද මැගසින් බන්ධනාගාරය තුළදී රැඳවියෙකු පහරදීමකට ලක්ව මියගොස් තිබූ අතර, ඊට අදාළව ජේලර්වරයෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. මෙම නවතම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහ සහකාර පොලිස් අධිකාරීවරයාගේ මඟපෙන්වීම යටතේ බොරැල්ල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
