15-driver-who-killed-86-person-arrested

පසළොස් හැවිරිදි පිරිමි ළමයෙකුට සිය මෝටර් රථය පැදවීමට ලබා දී පුහුණු කිරීමට යාමේදී, එම රථයටම යටවීමෙන් 86 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිසිය සඳහන් කළේ සිකුරාදා රාත්‍රියේ මාවනැල්ල - අලුත්නුවර මාර්ගයේ අලුපොත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.




මූලික පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා විසින්ම රථය පදවාගෙන විත් සිය නිවස අසලින් නතර කර ඇති බවයි. ඉන් අනතුරුව රථය පැදවීම පුහුණු කිරීමේ අරමුණින් ඔහු විසින් එහි පාලනය අදාළ ළමයා වෙත ලබා දී තිබේ. එම අවස්ථාවේදී මෝටර් රථයේ හිමිකරු මාර්ගයේ අනෙක් පසට ගමන් කිරීම සඳහා රථය ඉදිරිපසින් ගමන් කරමින් සිට ඇත.

එලෙස ඔහු රථය ඉදිරිපසින් හරහා ගමන් කරමින් සිටියදී, නවතා තිබූ මෝටර් රථය එකවරම ඉදිරියට ධාවනය වී ඔහුව අනතුරට ලක් කර තිබේ. බරපතළ තුවාල ලැබූ මෙම වයෝවෘද්ධ පුද්ගලයා වහාම මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, පසුව ඔහු එහිදී මියගොස් ඇත.




මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 86 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු අසුනේ සිටි 15 හැවිරිදි පිරිමි ළමයා පොලිස් භාරයට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.