the-sergeant-who-took-a-bribe-to-release-a-police-motorcycle-was-suspended

පොලිස් භාරයේ තිබූ යතුරුපැදියක් මුදාහැරීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 4,000ක අල්ලස් මුදලක් ලබාගත් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.




මෙම සැකකාර පොලිස් නිලධාරියා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ සංචාරක අංශයට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර, පසුගිය 5 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

පොලිස් භාරයේ රඳවා තිබූ, අයිතිකරුවෙකු ඉදිරිපත් නොවූ යතුරුපැදියක හිමිකාරීත්වය සනාථ කිරීමට පැමිණි කාන්තාවකට එය ඉක්මනින් නිදහස් කර දෙන බව පවසමින් මෙම සැරයන්වරයා විසින් මුදල් ඉල්ලා ඇති බව වාර්තා වේ.




කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි අල්ලස් මුදල ලබා ගැනීමෙන් පසුව ද යතුරුපැදිය නිදහස් කිරීමට ඔහු කටයුතු නොකිරීම හේතුවෙන් අගතියට පත් කාන්තාව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා වෙත මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ සහ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.