ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore

සිංගප්පූරු සත්වෝද්‍යානයට අයත් මැන්ඩායි වනජීවී සමූහයේ (Mandai Wildlife Group) කෘත්‍රිම සිංචනය (artificial insemination) සහ සිසේරියන් සැත්කමක් හරහා උපත ලැබූ පළමු ඔරංඔටන් පැටවා ලෙස 'අයාන්' (Ayaan) ඉතිහාසයට එක්වෙයි. අරාබි භාෂාවෙන් 'ආශිර්වාදය' යන අරුත දෙන මෙම පැටවාගේ මව වන්නේ සිංගප්පූරු සත්වෝද්‍යානයේ ප්‍රකට ඔරංඔටන් සත්වයෙකු වූ ආ මෙන්ග් (Ah Meng) ගේ මිණිබිරිය වන 29 හැවිරිදි චෝමෙල් (Chomel) ය.

පියා වන්නේ 48 හැවිරිදි චාලි (Charlie) නම් සුමාත්‍රානු ඔරංඔටන් සත්වයෙකි. කෘත්‍රිම සිංචනය, 'ප්ලැසෙන්ටා ප්‍රේවියා' (placenta praevia) නම් සංකූලතාව සහ සාර්ථක සිසේරියන් සැත්කමක් යන සියල්ලම එකවර වාර්තා වූ ලොව ප්‍රථම ඔරංඔටන් උපත මෙය බව මැන්ඩායි වනජීවී සමූහයේ පශු වෛද්‍ය සේවා සහ විද්‍යාත්මක වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය උප සභාපති හෙං යිරුයි මහතා පවසයි.




වර්තමානයේ වනගතව සිටින්නේ සුමාත්‍රානු ඔරංඔටන් සතුන් 13,800ක් පමණක් වන අතර, ඔවුන් දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස ලෝක වනජීවී අරමුදල පෙන්වා දෙයි. චාලි කිසිදු පැටවෙකු බිහිකර නොතිබූ බැවින් ඔහුගේ දුර්ලභ ජානමය උරුමය සංරක්ෂණය කිරීම සත්වෝද්‍යාන බලධාරීන්ගේ ප්‍රධාන අරමුණක් විය. ඒ අනුව 2018 වසරේදී චාලි සහ චෝමෙල් එකිනෙකාට හඳුන්වා දුන් නමුත්, චාලි ඒ සඳහා කිසිදු උනන්දුවක් නොදැක්වූ බැවින් සත්ව ආරක්ෂණ කණ්ඩායම වෛද්‍ය තාක්ෂණයේ පිහිට පැතීමට තීරණය කළහ. 2022 මැයි මාසයේදී ආරම්භ කළ කෘත්‍රිම සිංචන උත්සාහයන් හි තුන්වන පියවර ලෙස සිදුකළ ක්‍රියාවලියකින් පසු චෝමෙල් ගැබ්ගෙන ඇති බව තහවුරු විය.

සාමාන්‍යයෙන් ඔරංඔටන් සත්වයෙකුගේ ගර්භණී කාලය මාස අටහමාරක් පමණ වන අතර, චෝමෙල්ගේ ගැබිනි සමය මුලදී සාමාන්‍ය පරිදි සිදුවුවද, පසුව ඇය රුධිර වහනය වීමේ තත්ත්වයන්ට මුහුණ දුන්නාය. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ හරහා ඇයට 'ප්ලැසෙන්ටා ප්‍රේවියා' හෙවත් වැදෑමහ මගින් ගර්භාෂයේ විවරය වැසී යාමේ අවදානම් තත්ත්වයක් ඇති බව හඳුනාගැනුණු අතර, මේ නිසා සාමාන්‍ය දරු ප්‍රසූතියක් මවට මෙන්ම පැටවාටද මාරාන්තික විය හැකි බව වෛද්‍යවරු නිගමනය කළහ. ඒ අනුව, මානව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවජ හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයින්ගේද සහාය ඇතිව මාර්තු 18 වන දින සාමාන්‍ය නිර්වින්දනය යටතේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමට පියවර ගැනිණි. මිනිත්තු 20ක් පමණ ගතවූ මෙම සැත්කමින් පසු උදෑසන 9.45ට පමණ කිලෝග්‍රෑම් 1.6ක් බරැති අයාන් මෙලොවට බිහි විය.




උපත ලබන විට අයාන්ගේ සිරුර සුදුමැලි නිල් පැහැයක් ගෙන තිබූ අතර, කිසිදු හැඬීමකින් හෝ ප්‍රතිචාරයකින් තොරව දුර්වල හෘද ස්පන්දනයක් පමණක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, වෛද්‍ය කණ්ඩායමේ දැඩි උත්සාහය මැද මිනිත්තු හතකට පමණ පසු පැටවා සිය පළමු හුස්ම ගැනීමත් සමඟ යථා තත්ත්වයට පත්වීමට පටන් ගත් බව සත්ව ආරක්ෂණ භාරකරු වෙන්ඩි චුවා මහත්මිය සඳහන් කළාය. මේ වන විට චෝමෙල් මෙන්ම අයාන්ද පූර්ණ සුවය ලබා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, චෝමෙල් තම පැටවාට අමතරව තවත් ඔරංඔටන් පැටවෙකුටද කිරි දෙන බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි. පළමු වරට අයාන් සහ චෝමෙල් මැයි 20 වන දින සිට සිංගප්පූරු සත්වෝද්‍යානයේදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore

ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore

ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore

ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore

ian-the-first-orangutan-born-from-artificial-insemination-goes-on-display-in-singapore