'Enhanced Games' හෙවත් වැඩිදියුණු කළ ක්‍රීඩා උළෙල යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘතවම කාර්යසාධනය වර්ධනය කරන ඖෂධ (performance-enhancing drugs/doping) භාවිතා කිරීමට ඉඩ සලසමින් සංවිධානය වූ ආන්දෝලනාත්මක තරගාවලියකි. ජර්මානු ජාතික බිලියනපතියෙකු වන ක්‍රිස්ටියන් ඇන්ගර්මයර් විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, සාම්ප්‍රදායික ක්‍රීඩා තරග වලදී හොර රහසේ ඖෂධ භාවිතා කරමින් බොරු කියන ක්‍රීඩකයින්ට වඩා තම ක්‍රීඩකයින් විනිවිදභාවයකින් කටයුතු කරන බව පවසමින් ඊට සාධාරණීකරණයක් ලබා දීමට උත්සාහ කරයි.
කෙසේ වෙතත්, මෙය හුදෙක් ක්‍රීඩා කාර්යසාධනය උදෙසා පමණක් නොව දිගුායුෂ (longevity) අපේක්ෂාවෙන් ද සිදුකරන්නක් බව ඇන්ගර්මයර් පැවසුවද, යථාර්ථයේ දී මෙම අරමුණු දෙක එකිනෙකට පරස්පර විය හැකි බවත්, ඇතැම් හිටපු ප්‍රභූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැදි වියේදී දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත් පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.සැබැවින්ම මෙම ක්‍රීඩා උළෙල ඇන්ගර්මයර් විසින් අලෙවි කරන මිල අධික ආහාර අතිරේක (supplements) ප්‍රවර්ධනය කිරීමේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවට විචාරකයෝ පෙන්වා දෙති. දැනටමත් ඩොලර් බිලියන 200ක් පමණ වන ගෝලීය ආහාර අතිරේක වෙළඳපොළ, ඉදිරි වසර කිහිපය තුළ දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගාවලියේ විනිවිදභාවය පිළිබඳව බලධාරීන් පුරසාරම් දෙඩුවද, ක්‍රීඩකයින් භාවිතා කළ ඖෂධ මොනවාද සහ කුමන මාත්‍රාවලින්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවෙකු දන්නේ නැත. තවද, ක්‍රීඩකයින් 30කට අධික පිරිසක් යොදාගනිමින් සිදුකෙරෙන සායනික පරීක්ෂණය සඳහා ද අරමුදල් සපයනු ලබන්නේ අදාළ සමාගම විසින්ම බැවින් එහි විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු මතු වී තිබේ.
මෙම සමාගම විසින් අලෙවි කරන ඇතැම් අතිරේක සහ පෙප්ටයිඩ (peptides) වල විද්‍යාත්මක පදනම පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් දැඩි සැක මතු කර ඇත. Scripps පර්යේෂණ ආයතනයේ හෘද රෝග විශේෂඥ එරික් ටොපොල් පෙන්වා දෙන්නේ බහුලව භාවිතා වන පෙප්ටයිඩ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. එමෙන්ම වයස්ගත වීම වළක්වන බව පවසමින් විකුණන 'N.A.D.+' නැමැති ජනප්‍රිය අතිරේකයේ න්‍යායික පදනම පවා මෑතකදී 'Nature Metabolism' සඟරාවේ පළ වූ පර්යේෂණයකින් බිඳ වැටී ඇති අතර, වයසට යාමත් සමඟ රුධිරයේ N.A.D.+ මට්ටම සැබැවින්ම පහත නොවැටෙන බව එමගින් තහවුරු විය.
මෙම වෛද්‍යමය නොවන පිළියම් සඳහා සමාජය තුළ විශාල ඉල්ලුමක් ඇති වීමට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතයත් සමඟ සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි ඇති වූ අවිශ්වාසය සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ (influencers) ප්‍රචාරණයන් බව වෛද්‍ය ටොපොල් පවසයි. වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව තමන්ටම එන්නත් කරගැනීමට හැකි උපකරණ භාවිතයට ජනතාව හුරුවීමද මීට ප්‍රධාන හේතුවක් වී ඇත. තවද, පෙප්ටයිඩ සඳහා ඇති ෆෙඩරල් සීමා ලිහිල් කිරීමට රොබට් එෆ්. කෙනඩි වැනි දේශපාලන චරිත උත්සාහ කිරීම මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් වැනි ප්‍රකට පුද්ගලයින්ගේද සහාය ලබන 'Enhanced Group' ආයතනයට අතිමහත් වාසියක් අත්විය හැකි බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ක්‍රීඩා ලෝකයේ "විප්ලවයක්" ලෙස හඳුන්වා දුන් මෙම තරගාවලියේ ප්‍රතිඵල බෙහෙවින් නීරස විය. සංවිධායකයින්ට අනුව යූ ටියුබ් ඔස්සේ ලක්ෂ දෙකහමාරක් පමණ පිරිසක් නැරඹූ මෙම තරගාවලියේදී ඖෂධ ලබාගත් ක්‍රීඩකයෙකු විසින් බිඳ හෙලන ලද්දේ එක් ලෝක වාර්තාවක් පමණි. කැපී පෙනෙන කරුණක් නම්, ඖෂධ වලින් තොර පිරිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුම (එක් පිහිනුම් ක්‍රීඩකයෙක් සහ ධාවකයින් දෙදෙනෙක්) තම ඉසව්වලින් ජයග්‍රහණය කිරීමයි. කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් බාබඩෝස් රාජ්‍යයේ ක්‍රීඩිකා ට්‍රිස්ටන් එවෙලින් ප්‍රකාශ කර සිටියේ, ජයග්‍රහණය කිරීම සඳහා හුදෙක් රසායනික විද්‍යාවට වඩා වැඩි යමක් අවශ්‍ය බව මෙමගින් මනාව ඔප්පු වූ බවයි.
