ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පෙන්වා දෙන්නේ භික්ෂු සමාජය නියාමනය කිරීම සඳහා කඩිනමින් සංඝාධිකරණ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවයි. ජාතික නාමල් උයන පරිශ්‍රයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, පැවිදි දිවියට ඇතුළත් වූවද භික්ෂූන් වහන්සේලා යනු හැඟීම් දැනීම් මෙන්ම විවිධ ආශාවන් සහිත මනුෂ්‍ය කොට්ඨාසයක් බවයි.
අතීතයේදී බුදුරජාණන් වහන්සේ පවා භික්ෂූන් වහන්සේලා අතින් සිදුවූ විවිධ වැරදි පදනම් කරගනිමින් නීති පනවා ඇති බැවින්, වර්තමානයේදී ද උන්වහන්සේලා නිවැරදි මාවතකට යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව රාහුල හිමියෝ එහිදී සඳහන් කළහ.ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකය පුරා පිළිගැනීමට ලක්ව ඇති පසුබිමක, මෙරට භික්ෂූන් වහන්සේලා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් විදෙස් මාධ්‍ය ඔස්සේ පවා ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස වාර්තා වීම අතිශය භයානක මෙන්ම ඛේදනීය තත්ත්වයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවන නමුත් මෙවැනි බරපතළ තත්ත්වයන් හමුවේ සමස්ත භික්ෂු සංස්ථාවම දැඩි නියාමනයකට ලක් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වී තිබේ. එබැවින් සංඝාධිකරණ පනතක් හරහා වැරදි කරන පාර්ශ්වයන්ට දඬුවම් ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව උන්වහන්සේගේ අදහස වී ඇත.
මීට සමගාමීව විහාර දේවාලගම් පනත ද කාලීන අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව වගන්ති ඇතුළත් කරමින් සංශෝධනය කිරීම මගින් මෙවැනි අර්බුද බොහෝමයක් නිරාකරණය කරගත හැකිවනු ඇතැයි රාහුල හිමියෝ විශ්වාසය පළ කරති. සංඝාධිකරණ පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳව තමන් වහන්සේ පසුගිය රජයයන් ගණනාවකටම කරුණු ඉදිරිපත් කළද, කිසිවෙකුත් ඒ සඳහා නිසි පියවර නොගත් බවත්, ඇතැම් නිකාය මූලස්ථාන මගින් ඊට බාධා එල්ල වන බවට මතයක් සමාජයේ පවතින බවත් උන්වහන්සේ සිහිපත් කළහ. කෙසේ වෙතත් බුද්ධ ශාසනය විනාශ කිරීමට කිසිවෙකුටත් නොහැකි වුවද, මෙවැනි ක්‍රියාවන් හරහා අදාළ පුද්ගලයින් තම ජීවිත විනාශ කරගන්නා බව උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම සංකීර්ණ ගැටලුව නිරාකරණය කරමින් සංඝාධිකරණ පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය යුතු බවට වනවාසී රාහුල හිමියන් ඉල්ලීමක් කර සිටිති. මෙවැනි තත්ත්වයන් රජයෙන් පමණක් විසඳිය හැකි යැයි කියා සිටිය නොහැකි බව පෙන්වා දෙන උන්වහන්සේ, අදාළ සිදුවීම්වලට සම්බන්ධ තරුණ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් සම්බන්ධයෙන් ඒ ඒ නිකායන් සහ අදාළ ගුරු හිමිවරුන් අනිවාර්යයෙන්ම තම වගකීම භාරගත යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
