basils-malwane-house-to-be-handed-over-to-ugc---demands-won-antare-leaves

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර දහසයකින් යුත් ඉඩම සහ දෙමහල් නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟතාවය පළ කර තිබේ.




මෙම තීරණයත් සමඟ අදාළ භූමියෙන් වහාම ඉවත් වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කර ඇති අතර, අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා මේ බව තහවුරු කළේය. තමන් රජයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බැවින් සහ අදාළ දේපළ හැකි ඉක්මනින් ප්‍රතිපාදන කොමිසමට පැවරීමට අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වූ බැවින් මෙලෙස එම පරිශ්‍රයෙන් වහාම ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට පැවසුණු මෙම ඉඩම පසුව නඩු කටයුත්තකින් අනතුරුව නිත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති වීම හේතුවෙන් අධිකරණ තීන්දුවක් මත රජයට පවරා ගත් එකකි. එලෙස රජයට පවරා ගෙන දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ භාරයේ පැවති මෙම භූමියට ඉකුත් 14 වැනිදා පස්වරුවේ පොලිස් නියෝග ද නොතකා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වූහ.




එහි ඇතුළු වූ සිසුන් අදාළ නිවස සහ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කර එදින රාත්‍රියේ ගිනිමැලයක් දල්වමින් වීරෝදාර ගීත වැඩසටහනක් සහ පසුදින රාත්‍රියේ චිත්‍රපට විචාර වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි. කොළඹට ආසන්න මෙම වාණිජ වටිනාකමකින් යුත් භූමිය විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දීමෙන් පීඨ සහ නේවාසිකාගාර ඉදි කර සිසුන් වැඩි පිරිසකට පහසුකම් සැලසිය හැකි බව සිසුන්ගේ ප්‍රධාන තර්කය විය. මීට පෙර ඉකුත් 15 වැනිදා අග්‍රාමාත්‍යවරියගේ සහකාර ලේකම්වරියක සමඟ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු සිසුන් මල්වාන ප්‍රදේශයේ විරෝධතා රැලියක් පැවැත්වීමට ද සූදානමින් පසුවිය.

සිසුන්ගේ මෙම අත්පත් කර ගැනීමට එරෙහිව දොම්පේ ප්‍රාදේශීය ලේකම් සමන්ත නිශ්ශංකආරච්චි සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් විසින් දොම්පේ පොලිසියට පැමිණිලි දෙකක් ද ගොනු කර තිබිණි. තමන් යටතේ පවතින රජයේ ඉඩමකට කිසිදු අයිතියකින් තොරව බලහත්කාරයෙන් ඇතුළු වූ සිසුන් ඉවත් කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා ඉල්ලා සිටි අතර, මෙම භූමිය ගංවතුර තර්ජනයට ලක්වන බැවිනුත්, විශ්වවිද්‍යාලවල සිට කිලෝමීටර් විස්සකට වඩා දුරින් පිහිටා ඇති බැවිනුත් මෙය නේවාසිකාගාර සඳහා නුසුදුසු ස්ථානයක් බව අනෙක් පැමිණිල්ලෙන් පෙන්වා දී තිබුණි. ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියේය.

basils-malwane-house-to-be-handed-over-to-ugc---demands-won-antare-leaves