an-explanation-of-meningitis-brain-fever-among-school-children

පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටිස් (මොළේ උණ) රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි. කෙසේ වුවද, මෙම රෝගී තත්ත්වය පිළිබඳව අනවශ්‍ය හෝ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ඒ මහතා අවධාරණය කරයි.




මෙම මොළේ උණ රෝගී තත්ත්වය ප්‍රථමයෙන්ම දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මේ වන විට එය තවත් ප්‍රදේශ කිහිපයක රෝහල්වලින් වාර්තා වෙමින් පවතී. ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28 දෙනෙකු ද, වැලිමඩින් රෝගීන් 13 දෙනෙකු සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25 දෙනෙකු පමණ ද මේ වන විට හඳුනාගෙන තිබේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළේ මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් ලෙස දැනටමත් තහවුරු වී ඇති බවයි. වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක ගවේෂණ, ආවේෂණ සහ නිරීක්ෂණ කටයුතු සක්‍රීයව සිදු කරමින් පවතී.




පාසල් දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වන මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස තද උණ, හිසරදය සහ වමනය පෙන්වා දිය හැකිය. දැනට රෝගයට ගොදුරු වූ සියලුම දරුවන් පාහේ රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. නිසි වෛද්‍ය ප්‍රතිකාර සමඟ දින 5ත් 7ත් අතර කාලයකදී මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බැවින් කිසිවෙකුත් කලබලයට පත් විය යුතු නැත. දැනට ප්‍රතිකාර ලබන කිසිදු රෝගියෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද සෞඛ්‍ය අංශ සහතික කරයි.

පවතින වර්ෂා සහිත කාලගුණය සහ වෙසක් උත්සව සමයේ පැවැත්වෙන දන්සල් හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ස්වයංව ආරක්ෂා වීම අතිශයින්ම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන්ම අපවිත්‍ර වූ ජලය සහ ආහාර මගින් ශරීරගත වන බැවින්, පරිභෝජනය කරන ආහාර පාන පිළිබඳව මහජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ අවම කිරීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පාසල් පද්ධතිය සමඟ ඉතා සමීප සම්බන්ධීකරණයකින් යුතුව අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී.