ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දින දෙකක් පුරා ඕට්ස් පමණක් ආහාරයට ගැනීමෙන් පුද්ගලයෙකුගේ කොලෙස්ටරෝල් මට්ටම සහ ශරීර බර අඩු කර ගැනීමට හැකි වන බවයි.
මෙම අධ්‍යයනය සඳහා වැඩිහිටියන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවාගෙන ඇති අතර, ඔවුන් දිනකට ඕට්ස් ග්‍රෑම් 300 බැගින් වූ ආහාර වේලක් දින දෙකක් පුරා අඛණ්ඩව ලබා ගෙන ඇත. මෙම ආහාර වේල කිරි භාවිත නොකර ජලය යොදා සාදා ඇති අතර, අවශ්‍යතාවය මත පලතුරු ද එක් කරගෙන තිබේ.
මෙම කෙටි කාලීන ආහාර රටාව හේතුවෙන් සහභාගිවන්නන්ගේ බර කිලෝග්‍රෑම් දෙකකින් පමණ අඩුවී ඇති අතර, ඔවුන්ගේ LDL නොහොත් නරක කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍යයෙන් සියයට 10කින් පමණ පහත වැටී ඇත. එමෙන්ම ඔවුන්ගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය සහ රුධිර පීඩනය ද යහපත් අතට හැරී ඇති අතර, මෙම ප්‍රතිඵල සති හයකට පසුවත් නොනැසී පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම පර්යේෂණය සඳහාම තවත් සහභාගිවන්නන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ගනිමින් සති හයක කාලයක් පුරා සාමාන්‍ය ආහාර වේලට ඕට්ස් ග්‍රෑම් 80 බැගින් එකතු කරන දීර්ඝ කාලීන ක්‍රමවේදයක් ද අත්හදා බලා ඇත. එහෙත් එම ක්‍රමය එතරම් සාර්ථක වී නොමැති අතර, එමගින් පෙනී යන්නේ ඕට්ස් පමණක් භාවිත කරන කෙටි කාලීන දැඩි ආහාර රටාවක් මගින් මෙහි ප්‍රතිලාභ වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බවයි.
ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ බලපාන පරිවෘත්තීය සින්ඩ්‍රෝමය (Metabolic syndrome) නමැති රෝගී තත්ත්වයෙන් පෙළුණු පිරිසක් මෙම අධ්‍යයනයට සහභාගී කරවාගෙන ඇත. එමගින් අධික බර, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් ඉහළ යාම වැනි සංකූලතා ඇති වන අතර, එමඟින් දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යයි. එසේ වුවද ඕට්ස්වල අඩංගු තන්තු, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රති-ගිනි අවුලුවන ශාක රසායන මගින් එය පාලනය කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී බඩවැල්වල ඇති ක්ෂුද්‍ර ජීවීන් විසින් ඕට්ස් බිඳ හෙළනු ලබන අතර, එහිදී නිපදවෙන ෆෙරුලික් අම්ලය (ferulic acid) නම් සංයෝගය මගින් කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන බව සොයාගෙන ඇත. මේ අනුව, බැක්ටීරියා සහ ඕට්ස් අතර සිදුවන අන්තර්ක්‍රියා හේතුවෙන් කෙටි කාලීන ඕට්ස් ආහාර රටාවක් පරිවෘත්තීය රෝග සඳහා ලාභදායී සහ තිරසාර පිළියමක් වන බව මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. Nature Communications සඟරාවෙහි ද මෙම පර්යේෂණය ප්‍රකාශයට පත් කර ඇත.
