හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය අයි.එච්.කේ. මහානාම හට නියම වී ඇති රුපියල් මිලියන 20ක දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවට ලබාදිය යුතු විකල්ප දඬුවම සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (25) බන්ධනාගාරය වෙත දැනුම් දෙනු ලැබීය.
අල්ලස් ලබාගැනීමේ වරදකට වරදකරු වී මේ වන විටත් සිරදඬුවම් විඳිමින් සිටින ඔහු සම්බන්ධයෙන් පැනනැගී ඇති නීතිමය ගැටලුවක් මුල් කරගනිමින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.මෙම සිද්ධියට පදනම් වී ඇත්තේ 2018 වසරේදී කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්, ගොඩනැඟිලි සහ යන්ත්‍රෝපකරණ වල පූර්ණ අයිතිය ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු වන කේ.පී. නාගරාජා මහතා වෙත පැවරීම සඳහා සිදුකරන ලද ගනුදෙනුවකි. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක අල්ලසක් මුලින් ඉල්ලා පසුව එය රුපියල් මිලියන 100 දක්වා අඩු කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 20ක අත්තිකාරම් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී 2018 මැයි 03 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 දෙසැම්බර් 19 වැනිදා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව, පළමු විත්තිකාර ආචාර්ය මහානාම හට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් මිලියන 20ක දණ්ඩනයක් නියම කෙරිණි. එම නඩුවේම දෙවැනි විත්තිකරු වූ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සමගින් රුපියල් 55,000ක දඩයක් නියම විය. මෙම තීන්දුවට එරෙහිව වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් 2023 ජනවාරි 11 වැනිදා ලබාදුන් ඒකමතික තීන්දුවෙන් එම දඬුවම් ඒ ආකාරයෙන්ම තහවුරු කරන ලදී.
කෙසේ වෙතත්, ආචාර්ය මහානාම මහතා අදාළ රුපියල් මිලියන 20ක දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවට විඳිය යුතු අතිරේක සිරදඬුවම් කාලය මුල් නඩු තීන්දුවේ නිශ්චිතව සඳහන් කර නොමැති වීම හේතුවෙන් මේ වන විට නීතිමය ගැටලුවක් නිර්මාණය වී ඇත. මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර විමසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පසුගිය 13 වැනිදා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළ අතර, එහිදී මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ මුල් තීන්දුවේ නොමැති අමතර සිරදඬුවමක් සම්බන්ධයෙන් අලුතින් නියෝග දීමට තම අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් සහ විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග විය. එහිදී ලබාදුන් නියෝග අනුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වැනි වගන්තිය යටතේ දඩ මුදල් අයකර ගැනීම සහ දඩ නොගෙවීම වෙනුවට පැනවිය හැකි විකල්ප නීතිමය ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය විසින් ඊයේ (25) අධිකරණයට භාරදීම සිදු කරනු ලැබුවාය.
