a-youth-was-arrested-with-ice-and-heroin-worth-five-crore-rupees

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සිය සන්තකයේ තබාගෙන තොග වශයෙන් බෙදාහැරීමේ නිරත වූ විසි එක් හැවිරිදි තරුණයෙකු බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 08 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් තිස් අටක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.




මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ මේ වන විට විදෙස් රටක සැඟව සිටින ‘කළුබෝවිල බෝධිය වත්තේ අවිශ්ක හේෂාන් ගුණවර්ධන’ නොහොත් ‘බෝධිය වත්තේ අවිශ්ක’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසිනි. පිටකෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාර ප්‍රදේශයේ පදිංචි ‘චතු’ නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අදාළ සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය බෙදාහරින බවට බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (40730) ධනුෂ්ක නිලධාරියාට රහසිගත තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගුණතිලක මහතාගේ දැනුවත් කිරීම මත නිලධාරීන් පිරිසක් සැකකරුගේ නිවස ආසන්නයේ රැකසිට මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා නිවසින් පිටත්වන අවස්ථාවේදී පොලිසිය විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100ක ප්‍රමාණයක් මුලින්ම සොයාගෙන තිබේ. අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ පදිංචි නිවසේ සිදුකළ දීර්ඝ සෝදිසි කිරීමකදී නිදන කාමරයේ අල්මාරියක් තුළ රෙදි අතර සඟවා තිබූ සෙසු මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට විමර්ශකයින් සමත් වී ඇත. සාමාන්‍ය බහාලුම් පෙට්ටියක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව, අල්මාරියේ තවත් කොටසක විවිධ බර ප්‍රමාණයන්ගෙන් යුත් පාර්සල් නවයක අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය එහිදී සොයාගෙන ඇති අතර, ඒවා විදේශයක සිට මෙරටට ගෙනෙන ලද ආකාරයෙන්ම පැවති බව පොලිසිය තහවුරු කළේය.




විදේශගතව සිටින ප්‍රධාන ජාවාරම්කරු වන අවිශ්ක විසින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබාදෙන උපදෙස් හා පණිවිඩවලට අනුව, මෙම මත්ද්‍රව්‍ය තොග වශයෙන් නියමිත ස්ථාන කරා රැගෙන ගොස් තැබීම සැකකරුගේ ප්‍රධාන රාජකාරිය වී තිබේ. මෙම කටයුත්ත වෙනුවෙන් ඔහුට මාසිකව රුපියල් 50,000ක මුදලක් සහ දිනකට එක් වරක් පානය කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අදාළ ජාවාරම්කරු විසින් ලබා දී ඇති බව සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් වූ විසි එක් හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය. බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න ගුණතිලක, පොලිස් සැරයන් (40730) ධනුෂ්ක, මෙන්ම පොලිස් කොස්තාපල්වරුන් වන (94540) රත්නායක සහ (8112) සම්පත් යන නිලධාරීහු මෙම පරීක්ෂණ කටයුතු තවදුරටත් මෙහෙයවති.