a-series-of-new-directives-affecting-vehicle-loan-from-the-central-bank

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෝටර් රථ මිලදී ගැනීම හෝ භාවිතය සඳහා ලබා දෙන ණය පහසුකම් අරමුණු කරගනිමින්, ණය සහ වටිනාකම අතර අනුපාතය (Loan-to-Value / LTV) සඳහා නව දැඩි උපරිම සීමාවන් හඳුන්වා දෙමින් නවතම නියෝග මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. හෙට (25) සියට ක්‍රියාත්මක වන මෙම නියෝග අනුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ වෙත ගලා යන ණය ප්‍රමාණය නියාමනය කිරීමේ සහ පාලනය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව මෙම පියවර ගෙන තිබේ.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 105(1) වගන්තිය යටතේ සහ සාර්ව මූල්‍ය නිවාරණ අධිකාරිය (Macroprudential Authority) ලෙස තම බලතල ක්‍රියාත්මක කරමින් මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත. ණය සහ වටිනාකම අතර අනුපාතය හෙවත් LTV යනු වාහනයක මුළු වටිනාකමට සාපේක්ෂව බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් විසින් ලබා දෙන උපරිම ණය ප්‍රතිශතයයි.




මෙම නව නියෝග, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සහ අධීක්ෂණය කරනු ලබන සියලුම මූල්‍ය ආයතන වෙත පොදුවේ අදාළ වන පරිදි නිකුත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව, 1988 අංක 30 දරන බැංකු පනත යටතේ අර්ථ දක්වා ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFCs) මෙන්ම 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන (RFLEs) ද මෙම නියෝගවලට අනිවාර්යයෙන්ම යටත් විය යුතුය. මෙම ආයතන විසින් අවසාන පරිශීලකයින් වෙත වාහන මිලදී ගැනීම හෝ භාවිතය සඳහා ලබාදෙන මූල්‍ය කල්බදු (Finance Leases), කල්බදු මිලදී ගැනීමේ පහසුකම් (Hire Purchases), වාහන ණය සහ වෙනත් ඕනෑම ආකාරයක ණය පහසුකම් සඳහා මෙම අනුපාත සීමාවන් අදාළ වනු ඇත. තවද, මෙම නියෝගවලින් බාහිරව වාහන සඳහා කිසිදු ණය පහසුකමක් ලබා දීම මූල්‍ය ආයතනවලට තහනම් කර ඇත.

2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති මෙම නව රෙගුලාසි හරහා, දැනටමත් ලියාපදිංචි කර ඇති සහ ශ්‍රී ලංකාව තුළ පළමු ලියාපදිංචියෙන් පසුව වසරකට වඩා වැඩි කාලයක් භාවිත කර ඇති වාහන සඳහා ලබා දිය හැකි උපරිම ණය මුදල වාහනයේ වෙළඳපොළ වටිනාකමෙන් සියයට 60ක උපරිමයකට සීමා කර ඇත. එනම්, මෙවැනි වාහනයක් මිලදී ගැනීමේදී ගැනුම්කරු විසින් වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් සියයට 40ක මුදලක් තමා සතුව තබාගත යුතු අතර, මූල්‍ය ආයතන හරහා ලබාගත හැක්කේ ඉතිරි මුදල පමණි.




කෙසේ වෙතත්, ලියාපදිංචි නොකළ නව වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසුව වසරකට අඩු කාලයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කර ඇති ලියාපදිංචි වාහන සඳහා ණය නිකුත් කිරීමේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති වාහන කාණ්ඩ මත පදනම්ව මෙම LTV අනුපාතය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වෙනස් අගයන්ගෙන් යුක්තව නියම කර තිබේ. මෙහිදී වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන සහ පුද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා වාහන ලෙස පැහැදිලි වෙන් කිරීමක් කර ඇත. වාණිජ වාහන කාණ්ඩය යටතට ගැනෙන C1, C, CE, D1, D, DE, G1, G, J යන පන්තිවලට අයත් වාහන මෙන්ම B කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සැහැල්ලු ට්‍රක් රථ සහ සිංගල් කැබ් රථ සඳහා ලබා දෙන උපරිම ණය අනුපාතය සියයට 60ක් ලෙස නියම කර ඇත. එහෙත්, මෝටර් කාර්, ක්‍රීඩා උපයෝගිතා වාහන (SUVs), වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් ඕනෑම මගී ප්‍රවාහන හෝ පුද්ගලික වාහන කාණ්ඩයක් සඳහා (B කාණ්ඩයේ සැහැල්ලු ට්‍රක් සහ සිංගල් කැබ් හැර අනෙකුත් B, B1, A1, A කාණ්ඩ) මෙම උපරිම සීමාව සියයට 40ක් දක්වා විශාල ලෙස පහත හෙළා තිබේ.

මෙම ණය පහසුකම් අනුමත කිරීමේදී පදනම් කරගන්නා වාහනයේ 'වටිනාකම' යන්නෙන් අදහස් කරන්නේ එහි සැබෑ වෙළඳපොළ වටිනාකම බව මහ බැංකුව තවදුරටත් අවධාරණය කරයි. වාහනවල නිවැරදි වටිනාකම තක්සේරු කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් ද පැහැදිලි කර ඇත. ලියාපදිංචි නොකළ නවතම වාහන සඳහා බලයලත් නියෝජිතයින් විසින් තහවුරු කරන ලද වටිනාකම යොදාගත යුතු අතර, ප්‍රතිසංස්කරණය කරන ලද (Reconditioned) වාහන සඳහා රේගු නිෂ්කාශනය කරන අවස්ථාවේ සලකා බලන ලද තක්සේරුව හෝ අලෙවිකරු විසින් ලබා දෙන ඉන්වොයිස් වටිනාකම පදනම් කරගත යුතුය. එසේම, ලියාපදිංචි කරන ලද හෝ භාවිත කරන ලද වාහන සඳහා වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් ලබා දෙන තක්සේරු වාර්තාවක් අත්‍යවශ්‍ය වේ. ණය පහසුකම් ලබා දෙන අවස්ථාවේ ලබා ගන්නා මෙම තක්සේරුව මගින් වාහනයේ සැබෑ සහ සාධාරණ වටිනාකම නිරූපණය වන බව සහතික කිරීම සියලුම ආයතනවල වගකීමකි.



නව රෙගුලාසි හඳුන්වා දීමේදී වෙළඳපොළ තුළ ඇතිවිය හැකි යම් යම් ප්‍රායෝගික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ සංක්‍රාන්ති විධිවිධාන කිහිපයක් ද හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම ලියාපදිංචි නොකළ වාහන ගෙන්වීම සඳහා 2026 මැයි 25 දිනට පෙර විවෘත කර ඇති, එහෙත් මෙතෙක් ණය පහසුකම් ලබාගෙන නොමැති ණයවර ලිපි (Letters of Credit / LCs) සම්බන්ධයෙන් මෙම සංක්‍රාන්ති නීති අදාළ වේ. මෙම නීති කාලසීමාවන් තුනක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

පළමු කාලසීමාව ලෙස, 2025 නොවැම්බර් 08 දිනට පසුව සහ 2026 මැයි 25 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ගෙන්වන වාහන සඳහා වෙනම අනුපාතයක් ක්‍රියාත්මක වේ. එහිදී වාණිජ වාහන සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා උපරිම ණය අනුපාතය සියයට 70ක් දක්වා ද, මෝටර් කාර්, SUVs, වෑන්, ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන සඳහා උපරිම අනුපාතය සියයට 50ක් දක්වා ද ලබා දී තිබේ. දෙවනුව, 2025 ජූලි 18 වන දිනට පසුව සහ 2025 නොවැම්බර් 08 වන දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සම්බන්ධයෙන් තවත් වෙනස් අනුපාත මාලාවක් අදාළ වනු ඇත. එම කාල සීමාව තුළ ගෙන්වන වාණිජ වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් සියයට 80ක් දක්වා ද, මෝටර් කාර්, SUVs සහ වෑන් රථ සඳහා සියයට 60ක් දක්වා ද ණය ලබාගත හැකිය. මීට අමතරව එම කාල සීමාවට අදාළව ත්‍රීරෝද රථ සඳහා සියයට 50ක උපරිමයක් ද, වෙනත් වාහන සහ සිංගල් කැබ් රථ සඳහා සියයට 70ක උපරිමයක් ද වශයෙන් ණය පහසුකම් අනුමත කර ඇත.

තෙවන කාලසීමාව වන්නේ 2025 ජූලි 18 දිනට පෙර විවෘත කරන ලද පැරණි ණයවර ලිපි සඳහා අදාළ වන නීති රීතියි. මෙහිදී විදුලි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ කර ණය අනුපාත ලබා දී තිබේ. එම පැරණි ණයවර ලිපි යටතේ ගෙන්වන සියලුම විදුලි වාහන සඳහා වටිනාකමෙන් සියයට 90ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි. වෙනත් ඉන්ධන වාණිජ වාහන සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා ද සියයට 90ක් ලබා දෙන නමුදු, සාමාන්‍ය මෝටර් කාර්, SUVs සහ වෑන් රථ සඳහා එය සියයට 50කටත්, ත්‍රීරෝද රථ සඳහා සියයට 25ක ඉතා අඩු අගයකටත් සීමා කර ඇත. දෙමුහුන් (Hybrid) මෝටර් කාර්, SUVs සහ වෑන් රථ සඳහා මෙම පැරණි ණයවර ලිපි යටතේ ලබා දෙන උපරිම LTV අනුපාතය ද සියයට 50කි. මෙම නව නියෝග ක්‍රියාත්මක වීමත් සමඟම, මීට පෙර බලපැවැත්වූ 2025 අංක 03 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත් නියෝගය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලේඛනයේ වැඩිදුරටත් දැක්වේ.

මහ බැංකු නියෝග මාලාව P‍df පහතින්

CBSL Vehicle Loan Law
CBSL Vehicle Loan Law