research-reveals-that-a-healthy-person-exhales-vata-32-times-a-day

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට කොපමණ වාර ගණනක් වාතය පිටකරනවාද යන්න පිළිබඳව නිවැරදිව පැවසීම අපහසු කරුණකි. වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථවලට අනුව එය දිනකට වාර 5 සිට 15 දක්වා අගයක් ගන්නා බව පැවසුවද, එම දත්ත 1980 දශකයේ සිදු කළ සීමිත පර්යේෂණ මත පදනම් වූ ඒවා වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රැන්ට්ලි හෝල් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් යට ඇඳුමේ පැළඳිය හැකි කුඩා සංවේදකයක් (Sensor) හඳුන්වා දී තිබේ. කාසියක ප්‍රමාණයේ ඇති මෙම උපකරණය මඟින් පුද්ගලයෙකු පිටකරන වායුව හඳුනාගෙන ඒ පිළිබඳ දත්ත ස්මාර්ට් දුරකථන යෙදුමක් (App) වෙත යොමු කරනු ලබයි.




මිනිසුන්ගේ වාතය පිටවීමේ සාමාන්‍ය පරාසය සිතියම්ගත කිරීම සඳහා 'හියුමන් ෆ්ලෙටස් ඇට්ලස්' (Human Flatus Atlas) නමින් ව්‍යාපෘතියක් ගොඩනැගීම මොවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. මීට අදාළව 'Biosensors and Bioelectronics: X' සඟරාවේ පළ කරන ලද අධ්‍යයනයකට අනුව, නිරෝගී වැඩිහිටියන් කලින් සිතුවාට වඩා වැඩි වාර ගණනක් වාතය පිට කරන බව තහවුරු වී තිබේ. දින තුනක් පුරා දිනකට පැය 11 කට වඩා වැඩි කාලයක් පුද්ගලයින් 38 දෙනෙකු යොදාගනිමින් සිදු කළ මෙම පර්යේෂණයේදී, නිරෝගී වැඩිහිටියෙකු දිනකට සාමාන්‍යයෙන් වාර 32 ක් පමණ වාතය පිට කරන බව අනාවරණය විය. එසේම, මෙම පර්යේෂණයට සහභාගී වූවන් අතර එය දිනකට වාර 4 සිට 59 දක්වා විවිධ පරාසයන්හි පැවති අතර, තවමත් ප්‍රකාශයට පත් නොකළ ඇතැම් දත්ත වලට අනුව එකම ආහාර වේලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දිනකට වාර 175 කුත් අනෙකා වාර 4 කුත් ලෙස වාතය පිට කර ඇති බව මහාචාර්ය හෝල් පෙන්වා දෙයි.

මෙම සුවිශේෂී තාක්ෂණය දියුණු කිරීම සඳහා පර්යේෂණ කණ්ඩායමට වසර පහක පමණ කාලයක් ගත වී ඇත. නිර්වායු කුටීරයක් තුළ අසාර්ථක වෙමින් පැවති පර්යේෂණයකදී අහම්බෙන් සිදුවූ සිදුවීමක් හරහා මෙම සංවේදකයේ ක්‍රියාකාරීත්වය මුලින්ම හඳුනාගෙන තිබේ. දැනට පවතින තාක්ෂණයට අනුව, බඩවැල් වල සිටින බැක්ටීරියා මගින් ආහාර දිරවීමේදී නිපදවන හයිඩ්‍රජන් වායුව පමණක් හඳුනාගැනීමට මෙම සංවේදකය සමත් වන අතර, අනාගතයේදී අනෙකුත් වායුන් ද ග්‍රහණය කරගැනීමට හැකිවන පරිදි මෙය වැඩිදියුණු කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. මෙය පැළඳීමේදී කිසිදු අපහසුතාවයක් ඇති නොවන බවත්, එය කාන්තාවන් භාවිතා කරන සාමාන්‍ය සනීපාරක්ෂක තුවායකට වඩා කුඩා රවුම් හැඩති උපකරණයක් බැවින් සිරුරේ ස්පර්ශ වීමකින් තොරව යට ඇඳුමේ පහසුවෙන් රඳවා තබාගත හැකි බවත් පර්යේෂකයෝ පවසති.





වෛද්‍ය විද්‍යාත්මකව බලන කල, වාතය පිටවීම යනු මිනිස් සිරුරේ සිදුවන සම්පූර්ණයෙන්ම සාමාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකි. විශේෂයෙන්ම එළවළු සහ ධාන්‍ය වර්ග වැනි තන්තු බහුල ආහාර ගන්නා පුද්ගලයින්ගේ බඩවැල් තුළ වැඩිපුර වායුව නිපදවීම ස්වභාවික තත්ත්වයකි. එහෙත්, මෙම පුරුදු වල හදිසි වෙනස්වීම්, අධික දුර්ගන්ධයකින් යුක්ත වීම හෝ පාචනය, වේදනාව සහ බඩ පුරවා දැමීම වැනි රෝග ලක්ෂණ සමඟ වාතය පිටවීම සිදුවේ නම්, එය කෝපාවිෂ්ට බඩවැල් සින්ඩ්‍රෝමය (Irritable bowel syndrome) වැනි රෝගී තත්ත්වයක හෝ යම් ආහාරයක් ශරීරයට දිරවාගැනීමට නොහැකි වීමේ (උදාහරණයක් ලෙස ලැක්ටෝස් හෝ ග්ලූටන්) තත්ත්වයක පෙර නිමිත්තක් විය හැකිය. පුද්ගලයෙකුගේ ජානමය ලක්ෂණ, ආහාර රටාව සහ බඩවැල් වල සිටින ක්ෂුද්‍ර ජීවීන් යන සියල්ලම පුද්ගලයෙකු කෙතරම් වාර ගණනක් වාතය පිටකරනවාද යන්න කෙරෙහි බලපානු ලබයි.



දැනට මෙම සංවේදකය භාවිතා කරනු ලබන්නේ පර්යේෂණ කටයුතු සඳහා පමණක් වුවද, අනාගතයේදී වෛද්‍යවරුන්ට තම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අසාමාන්‍යතා පරීක්ෂා කිරීම සඳහා මෙම දත්ත භාවිතා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොලෙස්ටරෝල් මට්ටම හෝ රුධිර පීඩනය මනිනු ලබන ආකාරයටම, පුද්ගලයෙකුගේ බඩවැල් ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය මැන බැලීම සඳහා මෙය ප්‍රමිතිගත දර්ශකයක් ලෙස භාවිතා කිරීම මහාචාර්ය හෝල් ඇතුළු කණ්ඩායමේ අවසන් ඉලක්කය වී තිබේ. ඔවුන්ගේ මීළඟ පියවර වී ඇත්තේ, වෛද්‍ය විද්‍යාත්මකව මලබද්ධය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති මීතේන් වායුව හඳුනාගැනීමේ තාක්ෂණය මෙම උපකරණයට ඇතුළත් කිරීමයි. ඉන් අනතුරුව වෙනත් රටවල ජනතාවගේ ආහාර රටාවන් සහ වාතය පිටවීමේ සාමාන්‍යයන් ඇමරිකානුවන්ගේ දත්ත සමඟ සංසන්දනය කිරීම ඔවුන්ගේ අරමුණයි.

(බීබීසී සයන්ස් ෆෝකස් ඇසුරිනි)

research-reveals-that-a-healthy-person-exhales-vata-32-times-a-day