2019-new-zealand-christchurch-mosque-shooters-appeal-dismissed

2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර පිහිටි මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි තබා පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී දඬුවම් නියම වී සිටින සුදු ජාතිවාදී බ්‍රෙන්ටන් ටැරන්ට් විසින් එම තීන්දුවට එරෙහිව ගොනු කර තිබූ අභියාචනය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.




නවසීලන්තයේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම සමූහ වෙඩි තැබීම සිදුකළ බවට පිළිගත් 35 හැවිරිදි ටැරන්ට් හට 2020 වසරේ අගෝස්තු මාසයේදී ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කෙරිණි. කිසිදු සමාවක් හිමි නොවන පරිදි නියම වූ එම දඬුවම නවසීලන්ත ඉතිහාසය තුළ ලබාදුන් දැඩිම දඬුවම ලෙසද සැලකේ.

කෙසේ වෙතත්, සිය නඩු විභාගය අතරතුර බන්ධනාගාරය තුළ පැවති "වධහිංසා පමුණුවන සහ අමානුෂික" තත්ත්වයන් හේතුවෙන් තමාට නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් නොතිබූ බව පවසමින් ඔහු පසුගිය පෙබරවාරි මාසයේදී අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළේය. වරද පිළිගන්නා අවස්ථාවේදී තමාට ඒ සඳහා අවශ්‍ය මානසික සෞඛ්‍යයක් හෝ නිසි මානසිකත්වයක් නොතිබූ බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණි.




නමුත් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලක් විසින් ටැරන්ට්ගේ මෙම මානසික තත්ත්වය පිළිබඳ සාක්ෂි ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහුගේ ප්‍රකාශයන්හි පරස්පරතා පවතින බවත්, ඔහු වරද පිළිගන්නා අවස්ථාවේදී බන්ධනාගාර බලධාරීන්ගේ සහ මානසික සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිරීක්ෂණවලට ඔහුගේ සාක්ෂි සම්පූර්ණයෙන්ම පටහැනි බවත් අධිකරණය පෙන්වා දුන්නේය.

ඒ අනුව, ටැරන්ට් ස්වකැමැත්තෙන්ම වරද පිළිගෙන ඇති බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වී නොමැති බවත් විනිසුරු මඩුල්ල තීරණය කළේය. වරද පිළිගන්නා අවස්ථාවේදී බන්ධනාගාර තත්ත්වයන් හේතුවෙන් ඔහු කිසිදු සැලකිය යුතු මානසික පීඩාවකට ලක්ව නොමැති බවත්, ඔහුගේ අභියාචනය කිසිදු පදනමක් නොමැති එකක් බවත් අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. ඔහුට එරෙහි කරුණු අවිවාදිත බවත්, නීතියට අනුව පිළිගත හැකි කිසිදු නිදහසට කරුණක් ඔහු විසින් ඉදිරිපත් කර නොමැති බවත් අධිකරණය අවධාරණය කළේය.



2019 මාර්තු 15 වන දින අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තොගයක් සමගින් ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදුණු ඔහු මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළේය. ප්‍රහාරයට පෙර අන්තර්ජාලය හරහා ප්‍රකාශනයක් නිකුත් කර තිබූ ඔහු, ඉන්පසු මිනිත්තු 17ක කාලයක් පුරා සිය ඝාතන වැල සජීවීව විකාශය කිරීමටද කටයුතු කළේය. මෙම ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම මුස්ලිම් ජාතිකයන් වූ අතර, ඒ අතර කුඩා දරුවන්, කාන්තාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් ද විය.

මේ අතර, පෙබරවාරි මාසයේ පැවති අභියාචනා විභාගයෙන් සතියකට පසු සිය අභියාචනය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගැනීමට ටැරන්ට් උත්සාහ කිරීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය යම් සංකීර්ණ තත්ත්වයකට පත්විය. ඔහු ව්‍යාජ නමක් භාවිතා කරමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ නිවේදනයක් ඉදිරිපත් කළද, එහි දිනයක් හෝ සාක්ෂිකරුවෙකුගේ අත්සනක් නොමැති වීම හේතුවෙන් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව එම සතියේම අගභාගයේදී, ව්‍යාජ නමක් යටතේම නියමිත දිනය සහ සාක්ෂිකරුවන් සහිතව ඔහු විසින් දෙවන නිවේදනයක් ගොනු කරනු ලැබීය.

තමන්ට තවදුරටත් නීතිඥයෙකු අවශ්‍ය නොවන බවත්, මෙම අභියාචනය ඉදිරියට ගෙන යාමෙන් යුක්තිය ඉටු නොවන බවත් ඔහු එහිදී පවසා තිබුණි. කෙසේ වෙතත්, අභියාචනය නිශ්ප්‍රභ වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සහ වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කළේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වී ඇති බවත් මෙය දැඩි සහනයක් බවත්ය. මෙම තීරණය හරහා නැවත වරක් නව නඩු විභාගයකට මුහුණ දෙමින් එම කම්පන සහගත මාර්තු 15 වැනිදා සිදුවීම යළි ස්මරණය කිරීමට වින්දිත පවුල්වලට සිදු නොවීම විශාල අස්වැසිල්ලක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

2019-new-zealand-christchurch-mosque-shooters-appeal-dismissed