ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දීය උප ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රථම ද්විපාර්ශ්වික සංචාරය ලෙස හඳුන්වනු ලබන, ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ දෙදින නිල සංචාරය හෙට (19) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම සංචාරය මෑත කාලීනව දෙරට අතර සිදුවූ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම්වල දිගුවක් ලෙස සැලකෙන අතර, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ජනතාව අතර පවතින සහස්‍ර ගණනාවක ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.සිය සංචාරය අතරතුරදී ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය යන මහත්ම මහත්මීන් මෙන්ම දේශපාලන සහ ඉන්දීය ප්‍රජා නායකයින් සමග විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. මීට අමතරව ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ උතුරු පළාතේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමටද සැලසුම් කර තිබේ.
මෙම නිල සංචාරයට සමගාමීව 19 සහ 20 යන දෙදින තුළ කොළඹ නගරය සහ ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණෙන උප ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත, බොරැල්ල, හෝර්ටන් පෙදෙස, ලිබර්ටි වටරවුම මෙන්ම ගාලු පාර හරහා ටාජ් සමුද්‍රා හෝටලය වෙත පැමිණෙනු ඇත. ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා අවස්ථාවලදී එම මාර්ගවල වාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.
ඉන් අනතුරුව ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ කදිරේෂන් කෝවිල දක්වා ප්‍රභූ රථ පෙළ ගමන් කිරීමට සැලසුම් කර තිබේ. සිය සංචාරය නිමකරමින් ඉන්දීය උප ජනාධිපතිවරයා 20 වන දින ටාජ් සමුද්‍රා හෝටලයේ සිට කොළඹ වරාය හෙලිපෑඩ් අංගනය වෙත ගමන් කර දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.
ප්‍රභූ ගමන් සංචාර හේතුවෙන් ඇතිවන රථවාහන තදබදය අවම කරගැනීම සඳහා මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය උපදෙස් දෙයි. ඒ අනුව නුවර පාරෙන් පැමිණෙන වාහන කැලණි පාලම සහ ආමර් වීදිය හරහා පංචිකාවත්ත හෝ මරදාන දෙසටද, ගාලු පාරෙන් එන වාහන කොල්ලුපිටිය හෝ ගාලු මුවදොරින්ද කොම්පඤ්ඤ වීදිය දෙසට හරවා යැවෙනු ඇත. කොළඹින් පිටවන වාහන රීගල් වටරවුම, කොම්පඤ්ඤ වීදිය හරහා ආර්.ඒ. ද මෙල් මාවත භාවිත කළ හැකි අතර, අවිස්සාවේල්ල සහ මීගමුව දෙසට යන වාහන තොටළඟ සහ බියගම මාර්ගය හරහා ගමන් කළ හැකිය. තවද, ප්‍රභූ රථ පෙළ ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර අදාළ මාර්ගවලට කන්ටේනර්, ටිපර් සහ ලොරි රථ ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.

