veteran-writer-tennyson-perera-passes-away

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ බී. ඒ.

ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට අසූ හය වැනි වියේ පසුවූ ඒ මහතා, කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළු කෘති සියයකට අධික සංඛ්‍යාවක් මෙරට පාඨක සමාජයට දායාද කළ ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. ඔහු මෙරට සාහිත්‍ය කලාව තුළ කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු සහ පරිවර්තකයෙකු ලෙස ද සුවිශේෂී සලකුණක් තැබීමට සමත් විය.




1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී උපත ලැබූ ටෙනිසන් පෙරේරා මහතා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ රජයේ මුද්‍රණාලයේ ආධුනිකයෙකු වශයෙනි. එකල පුවත්පත් සහ සාහිත්‍ය කලාව වෙත යොමු වූ ඔහු, කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කරමින් වාමාංශික දේශපාලනයෙහි ද සක්‍රීයව නිරත වූ චරිතයකි. ඔහුගේ මෙම මුල් කාලීන වාමාංශික දේශපාලන පසුබිම, පසුකාලීනව ඔහුගේ නිර්මාණ හරහා සමාජීය හා ආගමික ආන්දෝලනයන් ඇති කිරීමට ප්‍රබල බලපෑමක් එල්ල කළේය.

නූතනවාදී සහ පශ්චාත් නූතනවාදී ලේඛන කලාවේ ආභාසය ලබමින් මෙරට සාහිත්‍යයට නව මානයන් එක් කළ ඔහු, සිය නිර්මාණ සඳහා නිරන්තරයෙන්ම පීඩිත පන්තියේ ජනතාවගේ ජීවන අත්දැකීම් පාදක කර ගත්තේය. ආගමික සංස්ථා, ජාතිවාදය, ධනේශ්වර සමාජ ක්‍රමය සහ සමාජ අසමතුලිතතාවන් කිසිදු පැකිළීමකින් තොරව නිර්දය ලෙස විවේචනය කිරීම ඔහුගේ ලේඛන ශෛලියේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. අදටත් ඔහුගේ කෘති සමාජ විචාරාත්මක සාහිත්‍යයේ කදිම ආදර්ශයක් ලෙස සැලකෙන්නේ එබැවිනි.




ඔහුගේ ලේඛන දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වාර්තා වන්නේ 1967 වසරේදී රචනා කළ “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහයත් සමගිනි. කාර්මික බුදුවරයෙකුගේ අවශ්‍යතාවය යෝජනා කරමින් ධනේශ්වර සමාජය සහ ආගමික ආයතන විවේචනයට ලක් කළ එම කෘතියෙන් බුදු දහමට අපහාස වන බව පවසමින් බෞද්ධ සමිති සම්මේලනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රජය විසින් එම ග්‍රන්ථය තහනම් කරන ලදී. එය ශ්‍රී ලංකාවේ තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථය ලෙස ඉතිහාසයට එක්වන අතර, ඒ හේතුවෙන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම්වලට ද ලක් කළේය. කෙසේ වෙතත්, අදාළ කෘතිය පසුකාලීනව නැවත මුද්‍රණය කර ප්‍රකාශයට පත් කෙරිණි.

1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන ආරම්භ කළ ටෙනිසන් පෙරේරා මහතා, පසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කළේය. 1968 දී පළ කළ “දුට්ඨගාමිණී නොමළ වගයි”, බෝසත්වරියකගේ කතාවක් ඔස්සේ ස්ත්‍රීවාදී තේමාවන් සහ මහායාන බෞද්ධ සංකල්ප සාකච්ඡාවට ලක් කළ “සක්වළ දඩයම”, මෙන්ම “එකොළොස් ගිනි”, “දණ්ඩභූමි” සහ “සසර දිගන්තය” වැනි නවකතා රැසක් ඔහු විසින් රචනා කර තිබේ. ඊට අමතරව ෆ්‍රාන්ස් කෆ්කාගේ “The Trial” කෘතිය ‘නඩු යන්නෝ’ ලෙසත්, “Metamorphosis” කෘතිය ‘රූපාන්තරණය’ ලෙසත් සිංහලයට පරිවර්තනය කළ ඔහු, “අරාබි නිසොල්ලාසය” ද සිංහල භාෂාවට නගමින් මෙරට පාඨකයන්ගේ සාහිත්‍යමය අවබෝධය පුළුල් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය. 


මීට වසර 4 කට උඩදී ඔහුගේ අගනා පුද්ගලික පුස්තකාලය ජනතා විමුක්ති පෙරමුණට පරිත්‍යාග කිරීමටද ඔහු කටයුතු කර තිබුණි. 

දශක ගණනාවක් පුරා විහිදුණු ඔහුගේ මෙම අමිල සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් ඔහු ජාතික මට්ටමේ සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. ඔහු විසින් රචිත “මහා රාවණා” කෘතිය ෆෙයා වේ (Fairway) සම්මානයෙන් ද, “අසිරිමත් වැඩබිම” කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ඇගයුමට ලක් විය. තවද, ඔහුගේ “භවාන්තරය” සහ “අබිරහස් ජීවිත තරණය” යන කෘති ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ද නිර්දේශ වී තිබේ.