රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් වූ චීවරධාරීන් විසි දෙදෙනා ලබන මැයි මස දෙවැනිදා දක්වා රඳවාගෙන විමර්ශන සිදු කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේදීම අදාළ සැකකරුවන් කොළඹ පිහිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ මූලස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර, එහිදී ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
මෙම ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ චීවරධාරීන් විසින් එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබාදෙමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. තමන් දිවයිනට රැගෙන ආ ගමන් මලුවල මෙම මත්ද්‍රව්‍ය අඩංගු වී තිබූ බවක් කිසිසේත් නොදැන සිටි බව ඇතැම් සැකකරුවන් ප්‍රකාශ කර ඇතත්, තවත් පිරිසක් පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ආවේ සිය අනුදැනුම සහ දැනුවත්භාවය මතම බවයි.
තායිලන්තයේ බැංකොක් නුවර සිදුකළ සංචාරයක් නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. මෙම පිරිස රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකසා ඒ තුළ ඉතා සූක්ෂම අන්දමින් සඟවා තිබූ ‘කුෂ්’ සහ ‘හෂීස්’ නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දහයක් එහිදී නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. සැකනොසිතෙන ආකාරයෙන් මත්ද්‍රව්‍ය පාර්සල්වලට ඉහළින් රසකැවිලි මෙන්ම පෑන්, පැන්සල් ආදී පාසල් උපකරණ අසුරා තිබී ඇති අතර, එක් ගමන් මල්ලක කිලෝග්‍රෑම් හතරත් පහත් අතර ප්‍රමාණයක මත්ද්‍රව්‍ය අඩංගු වී තිබූ බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති චීවරධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන, උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන තරුණ පිරිසක් බව අනාවරණය වී තිබේ. කිසියම් අනුග්‍රාහක පාර්ශවයක් විසින් සපයා දුන් ගුවන් ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ඔවුන් පසුගිය විසිදෙවැනිදා මෙලෙස බැංකොක් නුවර බලා ගොස් ඇත. මෙම කරුණු අනාවරණය වීමත් සමග සැකකාර චීවරධාරීන්ගේ අදාළ විදේශ සංචාරය සංවිධානය කළ ප්‍රධාන හිමිනමද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

