
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික හෝටලයක නාන කාමරයක් තුළ සිටි වෛද්‍යවරියන් පිරිසක් රහසිගතව වීඩියෝ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු නාරාහේන්පිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාර තරුණයින් දෙදෙනා සිය ජංගම දුරකථන භාවිත කරමින් අදාළ කාන්තාවන් දිය නාමින් සිටින දර්ශන මෙලෙස වීඩියෝ ගත කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අදාළ හෝටලයේ පැවැති විශේෂ වැඩමුළුවක් සඳහා සහභාගී වීමට පැමිණි වෛද්‍යවරියක ඇතුළු කාන්තාවන් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහි කාමර දෙකක නවාතැන් ගෙන සිට ඇත. එම කාලසීමාවේදීම ක්‍රිකට් පුහුණුවීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණ සිටි 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හත් දෙනෙකු ද එම හෝටලයේම නවාතැන් ගෙන සිට ඇති අතර සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා ද ඒ අතර සිටි බව සඳහන් වේ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරුවන් විසින් ලබාගත් අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලය වෙත මුදාහැර තිබේද යන්න පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මහනුවර පූජාපිටිය සහ පන්නල වෙල්පන්න යන ප්‍රදේශවල පදිංචි 19 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයින් දෙදෙනා සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර ක්‍රීඩකයින් දෙදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
