
අගලවත්ත, හැලඹ ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස රහසිගතව නිධන් හෑරීමේ නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු මතුගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 04 වැනිදා සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීමේදී, සැකකරුවන් විසින් නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මතුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උදයංග මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ හදිසි වැටලීමකදී මෙම පිරිස කොටුකර ගැනීමට හැකි වී ඇත. පොලිසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට පත් වූ පිරිස අතර අගලවත්ත හැලඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ බුලත්සිංහල මහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙති.
සැකකරුවන් විසින් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදු කරමින් සිටියදීම මෙලෙස අත්අඩංගුවට පත් වූ අතර, එහිදී ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතරට ජල මෝටරයක්, ගල් පිපිරවීමට භාවිත කරන විද්‍යුත් ඩෙටනේටර් පහක්, වෙඩි බෙහෙත් සහ විවිධ ප්‍රමාණයේ වයර් තොගයක් අයත් වේ. ඊට අමතරව ගල් විදින කටු, අලවංගු, උදලු සහ ප්ලාස්ටික් තාවුච් ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති සමන් රෝහණ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උදයංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කර සිටියි.

