දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිටුදැකීම උදෙසා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහන මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ. මෙරට සමස්ත පාසල් සිසුන් ලක්ෂ හතළිහක් පමණ සිටින අතර, ඉන් ලක්ෂ දහහතරකට පමණ රජය මගින් මෙම නොමිලේ ආහාර වේල සපයනු ලබයි.
එහෙත්, පවතින දැඩි උද්ධමනය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රජය නියම කර ඇති මුදලට තවදුරටත් ආහාර සැපයිය නොහැකි බව පවසමින් ආහාර සපයන්නන් මෙම වැඩසටහනින් ඉවත් වීමේ අවදානමක් මතු වී ඇතැයි ආහාර සපයන්නන්ගේ සංගම් පෙන්වා දෙයි.මෙම උදෑසන ආහාර වැඩසටහන ජාතික ජන බලවේග රජය විසින් හඳුන්වා දෙනු ලැබුවේ දරුවන් විවිධ සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීම වළක්වාලීමේ පරමාර්ථයෙනි. විශේෂයෙන්ම මන්දපෝෂණය, පිළිකා, සන්ධි ආශ්‍රිත රෝග, මානසික පීඩනය, අධිරුධිර පීඩනය, කිරීටක හෘද රෝග, ආඝාතය, පිත්තාශ ආශ්‍රිත රෝග මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන රෝගාබාධවලින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වී තිබිණි.
එසේ වුවද, වියළි ආහාර ද්‍රව්‍ය, ගෑස් මෙන්ම ප්‍රවාහන ගාස්තු යනාදියේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත පෝෂණීය ආහාර වේල ලබා දීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් වී ඇති බව සැපයුම්කරුවෝ අවධාරණය කරති. පාසල් ආහාර සපයන ව්‍යවසායකත්ව සංවර්ධන සමුපකාර සමිතියේ සභාපති ආර්.ආර්.එස්. මැදිවෙල මහතා සඳහන් කරන පරිදි, ගත වූ මාසය ඇතුළත පමණක් රුපියල් 250ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350ක් දක්වාත්, රුපියල් 1100කට අලෙවි වූ හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 1600ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් දරුවන්ට ආහාර සැපයූ බොහෝ පිරිසක් මේ වන විටත් එම කටයුතුවලින් ඉවත් වෙමින් සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.
දැනට රජය විසින් පෙර පාසල් දරුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 100ක මුදලක් ද, පෙර පාසලට ඉහළ දරුවකු වෙනුවෙන් රුපියල් 110ක මුදලක් ද සැපයුම්කරුවන්ට ගෙවනු ලබයි. එහෙත්, මෙම සුළු මුදලට බත්, පරිප්පු, එළවළු, මැල්ලුම්, මාළු, හාල්මැස්සන්, කරවල, සෝයා, බිත්තර සහ පලතුරු යනාදියෙන් සමන්විත සමබර ආහාර වේලක් ලබා දීම වර්තමාන වෙළෙඳපොළ මිල ගණන් යටතේ කිසිසේත්ම කළ නොහැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි. මීට අමතරව, දිනපතා පාසල් සිසුන්ගෙන් සියයට දහයක පමණ ප්‍රතිශතයක් පාසල් නොපැමිණෙන බැවින්, ඊට අදාළව ගෙවන මුදලින් ද සියයට දහයක් කපා හැරීමට කටයුතු කිරීම සැපයුම්කරුවන්ට තවත් ගැටලුවක් වී තිබේ. ඒ අනුව, පවතින ආර්ථික උද්ධමනය පිළිබඳව අවධානය යොමු කර ආහාර සපයන්නන්ට ගෙවන මුදල ඉහළ දැමීමට බලධාරීන් පියවර නොගතහොත්, මෙම ආහාර සැපයීමේ කටයුත්තෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම හැර වෙනත් විකල්පයක් තම සංගමයට නොමැති බවද ආර්.ආර්.එස්. මැදිවෙල මහතා වැඩිදුරටත් කියා සිටියේය.



