the-owner-of-the-house-set-fire-to-his-son-and-killed-2-people-in-anger

මහල් නිවසක ඉහළ මාලයෙන් මතු වූ ගිනිදැල් නිවී යන විට, ඒ තුළින් මතුවූයේ අළු වී ගිය මනුෂ්‍ය ජීවිත තුනක ශෝචනීය කතාවකි. දේපළක් සම්බන්ධයෙන් ඇවිළුණු මිනිස් සිතක ක්‍රෝධය, අවසානයේදී අහිංසක ජීවිත බිලිගනිමින් සමස්ත නිවසම සුසානයක් බවට පත් කර තිබුණි.




මහරගම, පමුණුව පාරේ, එක්සත් සුබසාධක මාවතේ පිහිටි දෙමහල් නිවසකට අමානුෂික ලෙස ගිනි තැබීමෙන්, එහි කුලී පදනම මත පදිංචිව සිටි මවක සහ ඇයගේ දහසය හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇත. මේ බිහිසුණු අපරාධයේ ප්‍රධාන සැකකරු බවට විශ්වාස කෙරෙන 76 හැවිරිදි නිවෙස් හිමියාද, ගින්නට මැදිවී බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ඊට පසුදින අලුයම මියගොස් තිබේ.

පසුගිය 18 වැනිදා රාත්‍රියේ මෙම ඛේදවාචකය සිදුවන විට නිවැසියන් නින්දට ගොස් සිටින්නට ඇතැයි සැලකේ. ගින්නෙන් මියගොස් ඇත්තේ 55 හැවිරිදි එම්. බී. රත්නකාන්ති වික්‍රමආරච්චි සහ ඇයගේ ආදරණීය දියණිය වූ 16 හැවිරිදි එස්. වත්සරණි රත්නායක යන අයයි. මේ සාහසික ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ දැරියගේ පියා වන 46 හැවිරිදි චමින්ද රත්නායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටියි. ප්‍රදේශවාසීන් වහා මැදිහත් වී ගින්න නිවා දමා, තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, පසුව නිවස පරීක්ෂා කිරීමේදී මවගේ සහ දියණියගේ දැවී ගිය මළසිරුරු කාමරයක් තුළ තිබී සොයාගෙන ඇත.




පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වන තොරතුරු අනුව, මෙය හුදෙක් හදිසි අනතුරක් නොව, පෙර සූදානමකින් කළ කෲර අපරාධයකි. අපරාධය සිදුවූ ස්ථානයේ තදබල ලෙස පෙට්‍රල් ගඳ වහනය වී ඇති අතර, නිවෙස් හිමියා වූ ඔලිවර් පැට්‍රික් විජේසිංහ නමැත්තා පෙට්‍රල් පිරවූ කෑනයක් රැගෙන ඉහළ මාලයට ගොස් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි. ගින්න නිවස පුරා පැතිරී යද්දී එය ඔහුගේ සිරුරටද ඇවිලී ඔහුද ඊට ගොදුරු වී තිබේ. මෙම ඛේදවාචකයට මුල, නිවසේ කුලී මුදල් සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන පවුල් ආරවුලක් බවට මේ වන විට හෙළි වී ඇත.

ගින්නට හසුවූ පවුල කුලි පදනම් මත පදිංචිව සිට ඇති බවත්, පහළ මාලයේ ද්‍රවිඩ් පවුලක් කුළියට පදිංචිව සිටින බවත් හෙළිවූ බවද පොලිසිය පවසයි. මිය ගිය නිවෙස් හිමිකරු පහළ මාලයේ කෙළවර කාමරයක නැවතී සිට ඇත. ඔහුගේ පුත්‍රයා විවාහ වී වෙනම කුලී නිවසක පදිංචිව සිට ඇතැයි පොලිසිය පැවැසිය.ඉහළ මහලේ කුලි මුදල නිවෙස් හිමිකරුගේ පුත්‍රයා විසින් ද, පහළ මහලේ කුලී මුදල මිය ගිය නිවෙස් හිමිකරු විසින් ද ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි. ඉහළ මහලේ කුළියට සිටින පිරිස හා නිවෙස් හිමිකරු අතර වරින්වර ආරවුල් ඇති වී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.



මියගිය නිවෙස් හිමියා පහත මාලයේ එක් කාමරයක පදිංචිව සිටි අතර, ඉහළ මාලයේ මින් ඉහත පුතාගේ පවුල පදිංචිව සිටියත් පියා සමග ඇතිවූ ආරවුලකින් පසු ඉහළ මාලය කුලියටදී ඔහු එතැනින් පිටව වෙන තැනක පදිංචියට ගොස් ඇති අතර කුලිය ලබාගෙන ඇත්තේ වෙනත් නිවසක පදිංචිව සිටින ඔහුගේ පුත්‍රයා විසින් නිසා කුලිය ඉල්ලා තාත්තා එද්දී එය ප්‍රතික්සේප කිරීම මත ඉහළ මාලයේ පදිංචිකරුවන් සහ නිවෙස් හිමියා අතර නිතර ගැටුම් ඇතිවී තිබූ බව විමර්ශනවලදී තහවුරු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් ඩෙස්මන්ඩ් ජයසේකර මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, මහරගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

දේපළ සහ මුදල් වෙනුවෙන් ඇති වූ අතාර්කික කෝපයක් අවසානයේදී, තමන්ට අහිමි වූවා යැයි සිතූ දේපළද, කුරිරු ලෙස බිලිගත් අහිංසක ජීවිත මෙන්ම, අපරාධකරුගේ ජීවිතයද එකම ගිනිදැල් ගොඩක අළු බවට පත්කර හමාරය. ඉතිරිව ඇත්තේ පිළිස්සුණු බිත්ති සහ කවදාවත් නොමැකෙන වේදනාබර මතකයක් පමණි.

the-owner-of-the-house-set-fire-to-his-son-and-killed-2-people-in-anger

the-owner-of-the-house-set-fire-to-his-son-and-killed-2-people-in-anger

the-owner-of-the-house-set-fire-to-his-son-and-killed-2-people-in-anger