උතුරු කළුතර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව නවාතැන් ගෙන සිටි බංග්ලාදේශ ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම මුදල් සොරකම් කර පළා ගොස් ඇත්තේ ඔහු සමග අදාළ නිවසේ නවාතැන් ගෙන සිටි තවත් විදේශිකයෙකු සහ ඔහුගේ විදේශික යෙහෙළියන් දෙදෙනෙකු බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත.
මෙලෙස මුදල් අහිමි වීමේ සිදුවීමට මුහුණ දී ඇත්තේ කමාල් හොසේන් ඩිඩාර් නමැති බංග්ලාදේශ ජාතිකයෙකි. ඔහු විසින් උතුරු කළුතර පොලිසිය වෙත සිදු කර ඇති පැමිණිල්ලට අනුව, සොරකමට ලක්ව ඇති මුළු මුදලේ වටිනාකම රුපියල් 1,564,487කි. ඒ අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 13,000ක් සහ අමෙරිකානු ඩොලර් 4,900ක් වන බව පැමිණිලිකරු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ පැමිණිලිකරු සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා පසුගිය 06 වැනි දින සිය විදේශික මිතුරා ද සමගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන් මෙරටට පැමිණ දින තුනකට පසුව එම සැකකාර මිතුරාගේ විදේශීය යෙහෙළියන් දෙදෙනා ද දිවයිනට පැමිණ තිබේ. අනතුරුව, 13 වැනි දින සිට මෙම සිව්දෙනාම උතුරු කළුතර, ගැමුණු මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් කුලියට ගෙන එහි එකට වාසය කර ඇත.
කෙසේ වෙතත්, පසුගිය 18 වැනි දින දහවල් කාලයේදී පැමිණිලිකරු නින්දෙන් අවදි වී බලන විට අදාළ විදේශීය මිතුරා සහ ඔහුගේ යෙහෙළියන් දෙදෙනා නිවසේ සිට නොමැත. ඔවුන්ගේ පෞද්ගලික ගමන් මලු ඇතුළු සියලුම බඩු බාහිරාදිය ද නිවසින් රැගෙන ගොස් තිබූ බවත්, තම සන්තකයේ තිබූ අදාළ මුදල් තොගය ද ඔවුන් විසින් රැගෙන ගොස් ඇති බවත් ඔහු විසින් පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

