මෑතකදී වෙඩි තබා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
පොලීසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව අඩි 35ක පමණ ගැඹුරකින් යුත් මෙම ළිඳ තුළ තිබී අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය යටතේ ඊයේ (20) දිනයේදී එය ගොඩගැනීමට කටයුතු කර තිබේ. මියගිය පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 'සංඛ' නැමැති වයස අවුරුදු 28ක තරුණයෙකු බවට මේ වන විට පොලීසිය හඳුනාගෙන ඇත.
මෙම අද්භූත මරණයට අදාළව මියගිය තරුණයාගේ සමීපතම මිතුරෙකු බව කියන පුද්ගලයෙකු මිදිගම පොලීසිය විසින් මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා වන ආකාරයට මරණකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ අයෙකු වන අතර, ඔහු යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මළ සිරුර සම්බන්ධයෙන් සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය මාතර මහ රෝහල වෙත රැගෙන යන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී පොලීසියට වැඩිදුරටත් නියෝග කර තිබේ. මෙම මරණය කිසියම් පිරිසක් විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් ද, එසේත් නොමැති නම් වෙනත් ආකාරයක අනතුරක් ද යන්න නිශ්චිතවම අනාවරණය කරගැනීම උදෙසා මිදිගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

