
පාඩම් කිරීම පසෙකලා ජංගම දුරකථනයෙන් ටික් ටොක් (TikTok) වීඩියෝ නරඹමින් සිටි සිය දහතුන් හැවිරිදි පුත්‍රයාගේ පිටුපස ප්‍රදේශය ගිනි රස්නය සහිත යකඩ කූරකින් පුලුස්සා දැඩි ලෙස තුවාල කළ පියෙකු දෙණියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙණියාය ප්‍රදේශයේම පදිංචිව සිටි තිස් අට හැවිරිදි තිදරු පියෙකි.
මෙම අමානුෂික ක්‍රියාව සිදු කිරීමෙන් අනතුරුව දින කිහිපයක් තිස්සේ පොලිසිය මඟහරිමින් සැඟවී සිටීමට ද මෙම සැකකරු කටයුතු කර ඇත.මෙම සිදුවීමට මුහුණ දුන් පවුල සම්බන්ධයෙන් පොලිසිය මීට පෙර සිටම අවධානයෙන් පසුවී ඇති අතර, සැකකාර පියාගේ බිරිඳ ද දිගු කාලයක පටන් දැඩි රෝගාතුර තත්ත්වයෙන් පසුවන කාන්තාවකි. පසුගිය 26 වන දින රාත්‍රී කාලයේදී මෙම අපරාධය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබේ. එදින උදෑසන කුලී වැඩ සඳහා පිටව ගොස් ඇති පියාට සිය ජංගම දුරකථනය නිවසේ අමතක වී ගොස් ඇති අතර, නිවසේ රැඳී සිටි දරුවන් එම දුරකථනය භාවිත කරමින් ටික් ටොක් වීඩියෝ නරඹා ඇත. සවස නිවසට පැමිණි පියා දරුවන්ට පාඩම් කරන ලෙස උපදෙස් දී රාත්‍රී ආහාරය සකස් කිරීම සඳහා මුළුතැන්ගෙට ගොස් තිබේ. අනතුරුව දරුවන්ගේ වැඩකටයුතු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් පාඩම් නොකර දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිටිනු දැක දැඩි ලෙස කෝපයට පත්ව ඇති ඔහු, ළිපේ තිබූ රත් වූ යකඩ කූරක් ගෙන සිය වැඩිමහල් දරුවාට මෙම අමානුෂික දඬුවම ලබා දී ඇත.
පියාගේ මෙම කෲර ක්‍රියාව අනාවරණය වී ඇත්තේ පසුදින තුවාල ලැබූ දරුවා පාසලට ගොස් ඒ පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුවය. තත්ත්වය අවබෝධ කරගත් පාසලේ විදුහල්පතිවරයා වහාම මැදිහත් වී ප්‍රතිකාර සඳහා දරුවා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වූ බැවින් පසුව ඔහුව මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙම සිද්ධියට අදාළව පවුලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම නිවසට ගොස් ඇත. එහිදී ඔවුනට දැකගන්නට ලැබී ඇත්තේ එම නිවැසියන්ට ආහාරයට ගැනීමට පවා කිසිවක් නිවසේ නොතිබූ අතිශය දුක්ඛිත දසුනකි. දරුවන්ගේ සහ රෝගාතුර මවගේ අසරණභාවය දුටු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, තමන් සතුව තිබූ මුදල් එකතු කර නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ලබා දීමට තරම් කාරුණික වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර පියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර, දෙණියාය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

