සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඇන්ඩ්‍රියා සිල්වියා නැමැති පනස් නව හැවිරිදි වියේ පසුවූ විදේශික කාන්තාවකි.
පසුගිය 26 වැනි දින ඇය සිය ස්වාමිපුරුෂයා ඇතුළු තවත් පිරිසක් සමග මෙරටට පැමිණ තිබේ. කොළඹ සහ හබරණ යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව ඔවුන් පසුගිය 28 වැනිදා මහනුවර ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී දොඩම්වල ලේඩි මැක්ලම් මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇත. කෙසේ වෙතත්, පසුගිය 29 වැනිදා දහවල් කාලයේදී මෙම කාන්තාව හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති අතර, හෝටල් පරිශ්‍රයේ පිහිටි නාන කාමරයක් අසලදී ඇය හදිසියේම ඇදවැටී තිබේ.
සිද්ධිය දුටු හෝටල් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඇයව පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති නමුදු, එදින පස්වරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඇය මෙලෙස මියගොස් ඇත. අනතුරුව හෝටලයේ කළමනාකාරවරයා විසින් මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව පොලීසියේ විවිධ පැමිණිලි අංශය විසින් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය උඩුනුවර හදිසි මරණ පරික්ෂක එස්.සී.කේ. වීරගේ මහතා විසින් සිදු කරන ලද අතර, පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය පාඨලි වෙදමුල්ල මහත්මිය විසින් පසුගිය 31 වැනිදා සිදු කරනු ලැබුවාය. එහිදී අනාවරණය වී ඇත්තේ, දීර්ඝ කාලයක පටන් ඇගේ බඩවැලේ පැවති ආසාදන තත්ත්වයක් උත්සන්න වීම මෙම මරණයට හේතු වී ඇති බවයි. තවද, මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මීට මාසයකට පමණ පෙර ඇය ශල්‍යකර්මයකට ද භාජනය වී ඇති බව වැඩිදුර විමර්ශනවලදී තහවුරු වී ඇත.

