මහා වරුසාවකින් තම මවුපියන් තෙමෙනු දැකීමට අකමැති වූ දරු සෙනෙහස, අවසානයේදී ඇගේම ජීවිතය බිලිගන්නා මරණයේ කැඳවීමක් යැයි කිසිවෙකුත් මොහොතකට හෝ සිතන්නට නැත. ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ වැල්ලවාය, හඳපානාගල කෙන්හත ගම්මානයේ පදිංචිව සිටි චමෝදි මල්ෂානි බණ්ඩාර නැමැති විසිතුන් හැවිරිදි තරුණියකි.
වැල්ලවාය යාලබෝව යොවුන් සේනාංකයේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටි චමෝදි, ඉකුත් 7 වැනිදා සවස සිය පාඨමාලාව නිමවා නිවසට පැමිණියේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙනය. ඇය නිවසට ගොඩවෙනවාත් සමගම ඈතින් ඇදහැලෙන්නට එන මහා වරුසාවේ පෙරනිමිති දැකගත හැකි විය. ඒ මොහොතේ ඇගේ සිතට නැගුණේ හේනේ තක්කාලි වගාවේ නිරත වෙමින් සිටින සිය ආදරණීය මව සහ පියා ය. ඔවුන් වැස්සට තෙමෙනවාට අකමැති වූ මේ ආදරණීය දියණිය, වහාම කුඩ දෙකක් ද රැගෙන හේන දෙසට දිව ගියේ මවුපියන්ගේ හිසට සෙවණක් වීමේ උතුම් චේතනාවෙනි.
හේනට ගොස් මවට සහ පියාට කුඩ ලබා දුන් ඇය, තවත් කුඩා වැඩ කොටසක් ඉතිරිව තිබූ නිසාවෙන් මවුපියන්ගේ පෙරැත්තය මත නැවතත් නිවස බලා යාමට හැරුණා පමණි. මවගේ සහ පියාගේ දෑස් ඉදිරිපිටදීම, කිසිවෙකුටත් සිතාගැනීමටවත් ඉඩක් නොතබමින් කඩා වැටුණු මහා අකුණු සැරයක් ඒ අහිංසක තරුණියගේ සිරුර පසාරු කරගෙන ගියේ මුළු පවුලකම හීන එක මොහොතකින් අළු බවට පත් කරමිනි.
"එක සැරේටම හෙණ අකුණක් ගැහුවා. මගේ අතපය හිරිවැටිලා ගියා. දුව කෝ කියලා බලද්දී එයා පාර ගාව වැටිලා හිටියා. මං ඉක්මනින් එතැනට දිවුවා. කෑගැහුවා, ඒත් වචන පිටවුණේ නෑ..." යැයි පවසන චමෝදිගේ මව වන එස්.ඩබ්ලිව්. නන්දාවතී මහත්මියගේ වචන, ඒ මොහොතේ ඔවුන් මුහුණ දුන් අන්ත අසරණභාවය මනාව කියා පායි. බිරිඳගේ හැසිරීමෙන් බියපත්ව වහා දිව ආ පියා, තම දියණිය ඔසවාගෙන ත්‍රිරෝද රථයකින් වැල්ලවාය මූලික රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් ඇය ඔවුන් සැමට නොකියාම මේ ලෝකයෙන් සමුගෙන ගොස් අවසන් ය.
පවුලේ සිටි දැරියන් දෙදෙනාගෙන් වැඩිමලා වූ චමෝදිගේ හදිසි වියෝව මේ වන විට මුළු ගම්මානයම කඳුළු සාගරයක ගිල්වා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජයන්ත අරුණ ජීව මහතා විසින් සිදු කරන ලදී. වැල්ලවාය පොලිසියේ සැරයන් ගමගේ (60170) මහතා මේ පිළිබඳව වැඩිදුර සාක්ෂි සටහන් කරගෙන ඇත.
මෙම අප්‍රේල් මාසයේ සවස් කාලයේ ඇතිවන අකුණු සැර අතිශය භයානකය; එබැවින් එළිමහනේ ගැවසීමෙන් වැළකී ආරක්ෂාකාරී වීම සැමගේම වගකීමකි. මවුපියන්ට සෙවණක් වන්නට ගොස් එළිමහනේදී ජීවිතය අහිමි වූ ඒ දියණියගේ වියෝව, සොබාදහමේ අනුකම්පා විරහිත බව අපට කියාදෙන තවත් එක් කඳුළු කතාවක් ලෙස සදාකල් මතකයේ රැඳෙනු ඇත.



