
විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වී ඇති බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකුට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
මෙලෙස විදේශ ගමන් තහනමට ලක්ව ඇත්තේ අදාළ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලින්ටන් ලෙනාඩ් සිල්වා, කසුන් සුභාෂණ, රංජිත් රණසිංහ, මනෝජ් ප්‍රියදර්ශන හේවාවසම්, තාරක මධුරංග අබේකෝන්, කෝලිත ලක්මාල් රාජපක්‍ෂ සහ ටෙරන්ස් සෙඩ්‍රික් පීරිස් යන නිලධාරීන් ය. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ වත්මන් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ජී.සී. පදුමසිරි මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් 07 වැනිදා ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂක අංජන මහතාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ මංගල සුරාජ් පෙරේරා නැමැත්තෙකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම වැටලීමට අදාළව එම කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවට ස්ථානාධිපතිවරයාට ලද පැමිණිල්ලක් මත අදාළ මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් අටදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් සංවාද සහ ඡායාරූප ඔස්සේ කළ පරීක්ෂණවලදී විදේශයන්හි සැඟවී සිටින රංජිත් කුමාර දිසානායක හෙවත් 'කොණ්ඩ රංජි' සහ 'දිප්පිටිගොඩ ළහිරු' යන ජාවාරම්කරුවන් සමඟ මෙම නිලධාරීන් සබඳතා පවත්වා ඇති බව අනාවරණය වී ඇත. ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී පොලිස් භාරයට ගත් කොකේන් කිලෝග්‍රෑම් තුනක ප්‍රමාණයක්, එම මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල් (88617) හෙන්නායක නැමැත්තා විසින් ජාවාරම් කර ඇති බවටද එහිදී තවදුරටත් තොරතුරු හෙළි වී තිබේ.
මෙම කොකේන් තොගය ප්‍රවාහනය කිරීම සඳහා අදාළ කොස්තාපල්වරයා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් භාවිතා කර ඇති අතර, එම රථය සහ අදාළ කුලී ගිවිසුම මේ වන විටත් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකාර නිලධාරීන් විදේශගත වුවහොත් ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවට පොලිසිය කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, අදාළ නිලධාරීන් හත්දෙනාට මෙම ගමන් තහනම පැනවූ අතර ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත්, විමර්ශන ප්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.
