
කළුබෝවිල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකදී සිය හිටපු පෙම්වතිය වූ චීන ජාතික තරුණියක තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර, ඇයගේ නව පෙම්වතාටද බරපතළ තුවාල සිදුකර පළාගොස් සිටි සැකකාර චීන ජාතිකයා දින දහහතරකට පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය මගින් පසුගිය 06 වැනිදා මෙම විසිහය හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කොළඹ, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ගොඩනැගිල්ලක 19 වන මහලේ අංක 1908 දරන කාමරය තුළ රහසිගතව සැඟවී සිටියදීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2200 ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.මෙම ඛේදනීය සිදුවීමට මුහුණ පා ජීවිතක්ෂයට පත්වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි ලියු යි හාන් (Liu yi han) නමැති විසි නව හැවිරිදි චීන ජාතික සිසුවියකි. ඉකුත් මස 23 වැනිදා කළුබෝවිල පීරිස් ඇවනියු හි පිහිටි කෙන්ට් රෙසිඩන්ට් (Kent Resident) නිවාස සංකීර්ණයේ දෙවන මහලේදී මෙම අපරාධය සිදුවී තිබුණි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි, ප්‍රසිද්ධ සංචාරක ආයතනයක සේවය කරන මෙම සැකකරු අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සිය සේවා ස්ථානයටද වාර්තා කර නොමැත.
ඝාතනයට ලක්වූ තරුණිය සහ සැකකරු අතර කලක පටන් සමීප සබඳතාවක් පැවතී ඇති අතර, පසුව ඇය එම සබඳතාව මගහැර කොළඹ වරාය නගරයේ සේවය කරන වෙනත් චීන ජාතිකයකු මෙන්ම තවත් පුද්ගලයකු සමගද ඇසුරක් ආරම්භ කර ඇත. මේ හේතුවෙන් සැකකරු දැඩි අමනාපයෙන් පසුවී ඇති අතර, ඔවුන් දෙදෙනා අතර අවස්ථා කිහිපයකදී බහින්බස්වීම්ද සිදුවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. ඇතිවූ මෙම මතභේදාත්මක තත්ත්වය මත මියගිය තරුණිය අදාළ නිවාස සංකීර්ණයෙන් ඉවත්ව සිය නව පෙම්වතා සමග වෙනත් නිවසක පදිංචියට ගොස් තිබේ.
ඉකුත් 23 වැනිදා ඇය සිය නව පෙම්වතාද සමග පෙර පදිංචිව සිටි කෙන්ට් රෙසිඩන්ට් නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇත්තේ එහි තිබූ සිය භාණ්ඩ කිහිපයක් රැගෙන යාමේ අරමුණෙනි. එහිදී, ඒ වන විටත් තියුණු ආයුධයක් සඟවාගෙන සිටි සැකකාර හිටපු පෙම්වතා ඇයට පහර දී ඇති අතර, එය වැළැක්වීමට ඉදිරිපත් වූ නව පෙම්වතාටද එම ආයුධයෙන්ම ඇන බරපතළ තුවාල සිදුකර පළාගොස් ඇත. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ අනෙක් චීන ජාතිකයා කඩිනමින් රෝහල්ගත කර තිබුණි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වන විට කොහුවල පොලිසිය වෙත භාරදී ඇත. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ සහ ඒකක පහ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක බුද්ධික චතුරංග යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.


