the-bribery-commission-questioned-chaminda-for-5-hours

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් ඊයේ (21) දිනයේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ. අදාළ කොමිසම විසින් කරන ලද කැඳවීමකට අනුව ඊයේ උදෑසන එහි ගිය කුලරත්න මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් මෙලෙස ප්‍රශ්න කරමින් අදාළ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.




ඔහුගේ මෙම ප්‍රකාශය සටහන් කරගැනීම සිදු කර ඇත්තේ ඔහුගේ පත්වීමට අදාළව දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට සමගාමීව බව අල්ලස් කොමිසම සඳහන් කරයි. වත්මන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් මීට පෙර චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනිණි.

එම වැඩ තහනම් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් කුලරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ නඩුවක්ද මේ වන විට විභාග වෙමින් පවතී. තමන්ව ඉලක්ක කරගනිමින් සිදු කළ මූලික පරීක්ෂණ ක්‍රියාවලිය හරහා ව්‍යවස්ථාපිත නීති සහ පරිපාලන රීති බරපතළ අන්දමින් උල්ලංඝනය වී ඇති බව ඔහු එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.




මෙම සිදුවීම් මාලාවට සමගාමීව නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කතානායකවරයාට එරෙහිවද අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.