the-attempt-to-hide-the-thieves-in-a-bag-near-arachchikattuwa-is-a-mistake

පසුගිය කාලසීමාව තුළ ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ සිදුවී ඇතැයි කියනු ලබන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ වැදගත් ලිපිලේඛන තොගයක් සොරා ගැනීමේ චෝදනාව මත එම සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා ආරච්චිකට්ටුව පොලිසිය විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාලය තුළ ඉතා සුරක්ෂිතව තබා තිබූ මෙම ලේඛන තොගය පොහොර උරයක බහා ඔහු විසින් රහසිගතව රැගෙන ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ මාදම්පේ, සීගිරි වලව්වත්තේ පදිංචි සුජිත් දේවප්‍රිය වීරවංශ නැමැත්තෙකි. සැකකාර සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගත් දිනයේම හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා විසින් පසුගිය සිකුරාදා දින ආරච්චිකට්ටුව පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. අදාළ ලේඛන සොරා ගන්නා අවස්ථාව වන විට සමූපකාර කාර්යාලය තුළ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ද හිතාමතාම ක්‍රියා විරහිත කර තිබූ බවට එම පැමිණිල්ල මගින් සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වා ඇත.




ලැබුණු පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, සිදු කළ විමර්ශනවලින් අනතුරුව අදාළ සාමාන්‍යාධිකාරීවරයා සැකපිට අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහුගේ නිවසේ සඟවා තිබියදී සොරාගත් ලේඛන තොගය ද සොයා ගැනීමට සමත් වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.