he-stole-the-advance-with-four-hands-by-whatsapping-the-id-saying-that-he-was-selling-a-three-wheeler-at-a-low-price

අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථයක් විකිණීමට ඇති බවට ව්‍යාජ දැන්වීමක් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් විසින් ගැනුම්කරුවන් රවටා ඇත්තේ තමන් ශ්‍රී ලංකා පොලිසියේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් බවට පෙනී සිටිමිනි.




මෙසේ නීතියේ රැහැනට කොටුවී ඇත්තේ දෙමටගොඩ සහ සියඹලාගුණය ප්‍රදේශවල පදිංචිව සිටින 43 සහ 47 වයස්වල පසුවන පෙදරේරු වෘත්තියේ නියැලෙන දෙදෙනෙකි. මොවුන් අන්තර්ජාලයට දැන්වීම් එක් කිරීමෙන් පසු ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදෙන පාරිභෝගිකයින්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ සේවය කරන සැබෑ පොලිස් සැරයන්වරයෙකුගේ සහ ගුවන් හමුදා සෙබළෙකුගේ නිල හැඳුනුම්පත්වල ඡායාරූප වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ යවා ඇති බවට විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් මහියංගනය, බදුල්ල, නුවරඑළිය, කටුවන මෙන්ම රාගම යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් 2,30,000 ක පමණ මුදලක් අත්තිකාරම් ලෙස මොවුන්ගේ බැංකු ගිණුම්වලට ගෙන්වාගෙන තිබේ. කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් මෙම වංචනික ක්‍රියාව සඳහා මුදල් බැර කරවා ගත් බැංකු ගිණුම් දෙකක් මේ වන විට හඳුනාගෙන ඇත.




හඳුනාගත් එක් බැංකු ගිණුමකට සම්බන්ධ තවත් සැකකරුවෙකු නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට පත් වූ සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.