search-for-galle-businessman-who-led-thai-smuggling---here-are-the-details-of-the-arrested-owners

තායිලන්තයේ සිට රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112කට අධික තොගයක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකුගෙන් යුත් පිරිසට අදාළ සංචාරය සඳහා සම්පූර්ණ මුදල් වියදම් කර ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අන්‍යාගමික ව්‍යාපාරිකයෙකු බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකාර හිමිනම ඇතුළු චීවරධාරීන් හත් දෙනෙකුගේ නඩු කටයුතු වෙනුවෙන්ද මුදල් වියදම් කිරීමට මෙම ව්‍යාපාරිකයා ඉදිරිපත් වී ඇති බවට විමර්ශන නිලධාරීන්ට කරුණු හෙළි වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




බැංකොක් නුවර සිට විදෙස් රටවලට ගුවන් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඉහළ ගොස් ඇත්තේ එරට ගුවන් තොටුපොළවල මත්ද්‍රව්‍ය රැගෙන යාමට නීතිමය බාධාවක් නොමැති වීම හේතුවෙනි. මෙම ලිහිල් නීති පසුබිම ප්‍රයෝජනයට ගනිමින් අදාළ චීවරධාරීන් පිරිස පසුගිය 22 වැනිදා දින තුනක සංචාරයක් සඳහා තායිලන්තයට ගොස් තිබූ අතර, එහිදී ඔවුන් ගිහි ඇඳුමින් සැරසී පතායා නගරයේ සංචාරය කරමින් මත්පැන් පානය කර විනෝද වී ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ. අනතුරුව තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් පාසල් දරුවන්ට ලබාදෙන උපකරණ බව පවසමින් විවිධ වර්ණයෙන් යුත්, එහෙත් එකම වර්ගයේ ගමන් මලු 22ක් මොවුන්ට ලබා දී ඇති අතර, පසුගිය 25 වැනිදා එම ගමන් මලු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් වූ අදාළ හිමිවරුන් සහ ඔවුන් සතුව තිබී සූක්ෂම ලෙස සඟවා ගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙලෙස වාර්තා වේ. අම්පාර කොටවෙහෙර ශ්‍රී සුමනාරාමයේ මාලිගාවිල ස්වර්ණාලෝක හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 4යි ග්‍රෑම් 989ක්, හොරණ වෑවල ඉසිපතනාරාමයේ ගලවත්තේ සුනන්ද හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 86ක්, වාද්දූව පොතුපිටිය ධර්මරාජ භාවනා මධ්‍යස්ථානයේ මාමඩලේ රාහුල හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 97ක්, වරකාපොළ මාහේනේගම ඩඩ්ලි සේනානායකාරාමයේ වැඩ විසූ කැලණිය නාගානන්ද විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසු ඇතිමලේ සුබෝධාලංකාර හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 90ක් සහ හෝමාගම ගොඩගම භාවනා මධ්‍යස්ථානයේ වැඩ විසූ හෝමාගම තුන්නාන රතනජෝති මහා විද්‍යාලයේ ආචාර්ය දම්මල ගුණානන්ද හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 112ක් සොයාගෙන තිබේ.




එසේම වාද්දූව පොතුපිටිය පූජාරාම මහා විහාරයේ පන්නල අමරබුද්ධි හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 139ක්, අකුරැස්ස හමලගොඩ ගංගාරාම විහාරයේ මාරන්බ ජෝතිරත්න හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 114ක්, ගොඩමුන්න ශ්‍රී ශෛල බිම්බාරාමයේ වැඩ විසූ කැලණිය නාගානන්ද විශ්වවිද්‍යාලයේ අපේක්ෂිත හඳගනාවේ නන්දරතන හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 95ක්, මඩපාත ජබුරලිය පුන්‍යවර්ධනාරාමයේ දෙමටනආරේ මහානාම තිලක හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 81ක්, වාද්දූව පොතුපිටිය ශ්‍රී ධර්මාතිලකරාමයේ පොතුපිටියේ සමිත හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 104ක්, වාද්දූව පෝදදරමුල්ල මහීගර්ජනාරාම පුරාණ විහාරයේ මහාවඩුවේ සද්ධානන්ද හිමි සතුව හෂීස් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 643ක් සහ බොරලැස්ගමුව වැවපාර ශ්‍රී නාග රුක්ඛාරාමයේ වැඩ විසූ පේරාදෙණියේ ප්‍රසිද්ධ පාසලක පුහුණු ගුරුවරයකු වන නිකපොත සුමන රක්ඛිත හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 79ක් තිබී ඇත.

තවද බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාමයේ වාහල්කඩ අරිය රක්ඛිත හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 30ක්, පිළියන්දල මඩපාත ජබුරලිය ශ්‍රී පුන්‍ය ධර්මාරාමයේ රනාලේ ඤාණසීහ හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 112ක්, එම විහාරයේම රිටිගහවත්තේ සීලරත්න හිමි සතුව හෂීස් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 169ක්, ගම්පොළ දොළුව ඉඟුරුවත්ත ශ්‍රී සද්ධාරත්න මහා පිරිවෙනේ වැඩ විසූ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසු නුගගොල්ලේ පවරසිරි හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 87ක්, අම්බලන්ගොඩ වතුගෙදර ශ්‍රී විජයවර්ධන මුදලින්දාරාම මහා විහාරයේ වැඩ විසූ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසු ලුණුගම්වෙහෙරේ සුමන හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 113ක්, බලන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරෙය් වැඩ විසූ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා අවසන් කර සිටි ගොඩකුඹුරේ පඤ්ඤාණදේව හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 96ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. පන්විල අංගම්මන ශ්‍රී විජය නාග විහාරයේ අකුරැස්සේ ජිනරත්න හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 107ක්, හොරණ වෑවල ඉසිපතනාරාමයේ සියඹලාපේ අමිත රන්සි හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 192ක්, හෝමාගම හබරකඩ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරයේ රිදීඇල සුමනරතන හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 30ක් සහ මොනරාගල බොල්ගල්ල නගුල බෝධිඝර විහාරයේ බොල්ගල්ලේ ජිනානන්ද හිමි සතුව කුෂ් කි.ග්‍රෑ. 5යි ග්‍රෑම් 115ක් වශයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.



මෙම කණ්ඩායමේ සිටි හිමිවරුන් තිදෙනෙකු විසින් සෙසු හිමිවරුන් 18 දෙනා ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා මෙම සංචාරය සඳහා සම්බන්ධ කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. පාසල් දරුවන්ට උපකාර කරන ආයතනයක් මගින් සියලු වියදම් දරන බව පවසා ගුවන් ටිකට්පත්, ආහාරපාන ඇතුළු සියලු පහසුකම් නොමිලයේ ලබා දෙන බවට ඔවුන්ව පොළඹවාගෙන ඇත. බෞද්ධ භික්ෂුවකට හිමිවන ප්‍රමුඛත්වය අවභාවිත කරමින් පාසල් උපකරණ මුවාවෙන් මෙම ජාවාරම ඉතා සැලසුම් සහගතව සිදුකර තිබේ.

මෙම සමස්ත ජාවාරම මෙහෙයවා ඇත්තේ මීට වසර හතකට පෙර ගම්පහ මීගහවත්ත ඉපිලිකන්ද භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිට, පසුව කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යාලංකාරාම විහාරයේ වැඩ වාසය කළ අගුණුකොලේ අමිතානන්ද නමැති හිමිනමක් විසිනි. සංචාරය සඳහා හිමිවරුන් සම්බන්ධ කරගැනීමට මෙම සැකකාර හිමිනම විසින් වට්සැප් සමූහයක්ද පවත්වාගෙන ගොස් ඇත. පසුගිය 25 වැනිදා රාත්‍රියේ මෙම මත්ද්‍රව්‍ය තොගය භාරගැනීම සඳහා අදාළ සැකකාර භික්ෂුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවත්, සෙසු පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග කලබල වී එතැනින් පලාගොස් ඇති බවත් හෙළි වී තිබේ. ඉන් අනතුරුව ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟවී සිටියදී විමර්ශන කණ්ඩායම් කිහිපයක් එක්ව පෙරේදා (26 වැනිදා) දහවල් මෙම ප්‍රධාන සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් අගුණුකොලේ අමිතානන්ද හිමිනම ඊයේ (27 වැනිදා) මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 02 වැනිදා දක්වා දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීද මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බවයි. එසේම මොහු මීට පෙරද මෙවැනිම ආකාරයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති අතර, පසුගිය මාර්තු මාසයේදී ද හිමිවරුන් 12 දෙනෙකු තායිලන්තයට යවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඒවා අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බවද අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය. කෙසේ වෙතත්, මෙම සැකකරු විමර්ශන සඳහා කිසිදු සහායක් නොදක්වමින් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වේ.

ජාවාරමට අදාළව තොරතුරු මකා දමා ඇත්දැයි සොයා බැලීම සඳහා ප්‍රධාන සැකකරු ඇතුළු අත්අඩංගුවට ගත් 23 දෙනාගේම ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇත. අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන්ගේ සෘජු උපදෙස් මත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.



gossiplanka collage