
තලාහේන සුසාන භූමියේ දුම් කවුළුවෙන් අහසට නැඟුණු ඒ අළු පැහැති දුම් රොටු අතරට මුසුවී ගියේ එක් මිනිසෙකුගේ භෞතික මතක සටහන් පමණක් නොවේ; මෙරට කළමනාකරණ සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ දැවැන්තම දැනුම් ගබඩාවක් සේම දහසක් සිසුන්ගේ ජීවිත එළිය කළ අපූර්ව පහන් තාරකාවකි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ හිටපු පීඨාධිපති, ප්‍රවීණ අලෙවිකරණ විශේෂඥ මෙන්ම සම්මානනීය විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලින් අබේසේකර මහතාගේ හදිසි අභාවය පිළිබඳ ශෝකජනක පුවත පසුගිය සති අන්තයේ වාර්තා විය. බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ ඒ ආදරණීය ගුරුපියාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (27) සවස තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ ශාස්ත්‍රීය ප්‍රජාවේ සහ හිතමිත්‍රාදීන්ගේ කඳුළු වරුසාවක් මධ්‍යයේය.
මෙම වියෝවේ සැබෑ ගැඹුර සහ ඔහු සමාජයට සිදුකළ බලපෑම කොතෙක්ද යන්න මනාව පැහැදිලි වූයේ නිල ශෝක ප්‍රකාශවලට වඩා ඔහුගේ එක් සිසුවෙකු විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමක තබා තිබූ අතිශය සංවේදී සටහනකිනි. "සර්ටත් පුළුවන් වුණොත් දවසක එන්න මගේ ආදාහනය දාටත් මේ වගේම හවසට... මගේ ජීවිතේ ගොඩදාන්න දරපු මහන්සියට මං සර්ට හැමදාම ණයයි..." යනුවෙන් තැබූ ඒ කඳුළු පිරි සටහන, මහාචාර්ය අබේසේකරයන් හුදෙක් දේශන ශාලාවට හෝ සුදු පුවරුවට පමණක් සීමා වූ ගුරුවරයෙකු නොවී, සිසුන්ගේ හදවත් තුළ ජීවත් වූ සැබෑ මඟපෙන්වන්නෙකු බවට කදිම සාක්ෂියක් සපයයි.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, එහි ආදි ශිෂ්‍ය සංගමයේ ද ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමිකර ගත්තේය. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරුවකු ලෙස ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලබා සිටි එතුමා, ශ්‍රී ලාංකේය ආර්ථිකයට ගැළපෙන දේශීය කළමනාකරණ ප්‍රවේශයක් හඳුන්වා දීමට නිරන්තරයෙන් වෙහෙසුණේය. 'ශ්‍රී ලංකා ආර්ථිකයට දේශීය ප්‍රවේශයක්' සහ 'කුඩා ව්‍යාපාරයට කළමනාකරණය' වැනි කෘති හරහා මෙන්ම පුවත්පත් තීරු ලිපි ඔස්සේ ඔහු නිරන්තරයෙන් උත්සාහ කළේ, බටහිර පොතේ පතේ ඇති කළමනාකරණ න්‍යායන් ශ්‍රී ලංකාවේ මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමටය.
රටේ ආර්ථිකය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය දැඩි අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, න්‍යායික දැනුම සහ ප්‍රායෝගික ව්‍යාපාරික දැක්ම මනාව මුසු කළ මෙවන් ප්‍රායෝගික චින්තකයෙකුගේ හදිසි නික්මයාම ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔහුගේ අකල් වියෝවට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රසිද්ධ වී නොමැති වීමද ශාස්ත්‍රීය සමාජය තුළ පවතින කම්පනය තවත් තීව්‍ර කරයි. දහසක් සිසුන්ට මඟපෙන්වූ ඒ පුළුල් දැක්ම අද හිස්තැනක්ව පවතිද්දී, ඔහු අපේක්ෂා කළ දේශීය ආර්ථික පුනරුදයේ ශාස්ත්‍රීය මෙහෙවර ඉදිරියට ගෙන යන්නේ කවුරුන්ද යන රිදුම් දෙන පැනය දැන් අප හමුවේ ඉතිරිව තිබේ.
දැවී අළුවන සිරුරකින් කනත්තේ කිසිවක් ඉතිරි නොවූවාට, ඔහු දල්වා ගිය ප්‍රඥාවේ පහන් සිළු මතු පරම්පරා ගණනාවකගේම ජීවිත අඳුර මකාදමමින් සදාකාලිකවම දැල්වෙනු නිසැකය.

