පවතින අධික උෂ්ණත්ව සහිත කාලගුණික තත්ත්වය හමුවේ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ එළිමහන් ක්‍රීඩාවල නිරත වීමේදී දැඩිව ප්‍රවේශම් වන ලෙස රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ සභාපති රොබින් ජෑන්ස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම අවුරුදු උත්සව පැවැත්වෙන අවස්ථාවන්හිදී හිරු එළියට සෘජුවම නිරාවරණය වෙමින් ජන ක්‍රීඩාවල යෙදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බව හෙතෙම පෙන්වා දෙයි.
දැඩි හිරු රශ්මිය හේතුවෙන් අධික ලෙස දහදිය දැමීම හරහා සිරුරේ අඩංගු ජලය සහ ලවණ විශාල වශයෙන් පිටවී යාම සිදුවන බැවින් එය විවිධ සෞඛ්‍ය ගැටලුවලට මග පාදයි. මේ හරහා සිරුරේ ජල ප්‍රතිශතය පහළ යාම, මාංශපේශී පෙරළීම, අධික තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල, වමනය වැනි රෝගී තත්ත්වයන් මෙන්ම ඇතැම් විට ජීවිතයට පවා අවදානම් සහගත තත්ත්වයන් මතුවිය හැකි බව සභාපතිවරයා අවධාරණය කරයි. ඒ අනුව, දීර්ඝ වේලාවක් අව්වේ ව්‍යායාම කරන හෝ සේවය කරන පුද්ගලයන්ට අමතරව පාසල් ළමුන්, වැඩිහිටියන්, ගැබිනි මව්වරුන්, හෘද රෝගීන්, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අය මෙන්ම ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වන්නන් මෙම තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්වීමේ හැකියාවක් පවතී.
මෙම අවදානම අවම කර ගැනීම උදෙසා උෂ්ණත්වය ඉහළම අගයක් ගන්නා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ ක්‍රීඩා සහ පුහුණු කටයුතුවලින් හැකිතාක් ඈත් වීම වඩාත් සුදුසු වේ. ඒ වෙනුවට උදෑසන හෝ සවස් කාලය එවැනි ක්‍රියාකාරකම් සඳහා තෝරා ගත යුතු බවට රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය උපදෙස් දෙයි. තවද, දහදිය මගින් වේගයෙන් ජලය ඉවත් වන බැවින් ඕනෑම ක්‍රියාකාරකමක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, එය අතරතුර සෑම මිනිත්තු 15 කට හෝ 20 කට වරක් සහ අවසානයේදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
අවුරුදු සමයේ යම්කිසි ක්‍රියාකාරකමක නිරත වෙමින් සිටියදී හිසරදය, කරකැවිල්ල, වමනය හෝ අධික මාංශපේශී තෙහෙට්ටුවක් දැනෙන්නේ නම් වහාම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මීට අමතරව පේශී පෙරළීම, අධික ලෙස දහදිය දැමීම හෝ දහදිය දැමීම එකවරම නතර වීම, හුස්ම ගැනීමේ හෝ ඇවිදීමේ අපහසුතා මෙන්ම සිහිය විකල් වීම හෝ අවධානය ගිලිහී යාම වැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම සියලු ක්‍රියාකාරකම් නතර කර සුරක්ෂිත ස්ථානයකට වී විවේක ගත යුතු බව රොබින් ජෑන්ස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එබැවින් මෙවර අවුරුදු උත්සව සංවිධානය කරන පාර්ශ්වයන් ද මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කිරීම අනිවාර්ය වේ. තරගකරුවන්ට විවේක ගැනීම සඳහා සෙවණ සහිත ස්ථාන පිළියෙල කිරීම, බීමට පිරිසිදු ජලය ප්‍රමාණවත් පරිදි ලබා දීම, නිරන්තරයෙන් ජලය පානය කිරීම සඳහා තරග අතරතුර විවේක කාලයන් ලබා දීම සහ හදිසි ප්‍රතිකාර පහසුකම් සූදානම් කර තැබීම සංවිධායකවරුන්ගේ වගකීමකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනවශ්‍ය ලෙස දීර්ඝ වේලාවක් හිරු එළියේ රැඳී සිටීම වළක්වාලීමට පියවර ගැනීම හරහා බොහෝ සෞඛ්‍ය අවදානම් මඟහරවා ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

