ඕනෑම යුවතියකගේ ජීවිතයේ සුන්දරම සිහිනයක් වන විවාහ මංගල්‍යය දවස, නිමේෂයකින් අඳුරු කලු තීන්තයකින් වසා දැමූ කෲරතර මෙන්ම ඛේදජනක පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ.
එංගලන්තයේ මේඩ්ස්ටෝන් නුවර පැවති මෙම මංගලෝත්සවයේදී, 35 හැවිරිදි ජෙමා මොන්ක් සිය පියාගේ අත ගෙන සුදු පැහැති පලසක් මතින් මංගල පෝරුව වෙත පියනගමින් සිටියාය. ඇය වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ ආදරය කළ සිය පෙම්වතා වූ කෙන් මොන්ක් සමඟ අතිනත ගැනීමට යන ඒ සුන්දරම මොහොතේ, හදිසියේම ඇය දෙසට කලු තීන්ත ප්‍රහාරයක් එල්ල විය. එම කෲර ප්‍රහාරය එල්ල කර තිබුණේ අන් කිසිවෙකුත් නොව, ඇගේම වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ වන 49 හැවිරිදි ඇන්ටෝනියා ඊස්ට්වුඩ් විසිනි.
තම ජීවිතයේ වැදගත්ම දිනය විනාශ කළේ තමන්ගේම නෑනා බව වටහා ගත් ජෙමා, ක්ෂණිකව ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගැනීමට උත්සාහ කළද ඇන්ටෝනියා එතැනින් පලා යාමට සමත් වූවාය. මුළු සිරුරම කලු තීන්තයෙන් වැසී, කඳුලින් සහ කම්පනයෙන් බිඳ වැටුණද, ජෙමා සිය අධිෂ්ඨානය අත්හැරියේ නැත. කඳුළු පිසදා, වෙනත් ඇඳුමක් ඉල්ලාගෙන හැඳගත් ඇය කෙසේ හෝ තම විවාහය සිදු කළාය. "අපි මේ දවස එනකල් ගොඩක් කල් බලාගෙන හිටියා. යට ඇඳුමෙන් ඉඳගෙන හරි, මූණේ කලු තීන්ත ගාගෙන හරි මම ඒ ගමන යනවා" යනුවෙන් ඇය පසුව පැවසුවේ අපේක්ෂා භංගත්වය හමුවේ නොසැලුණු ධෛර්යයක් පෙන්වමිනි.
මෙම ප්‍රහාරය හදිසි කෝපයක් නිසා වූවක් නොව, කලක පටන් පවුල තුළ පැවති ආරවුලක කුරිරු ප්‍රතිඵලයකි. ඇන්ටෝනියාගේ විවාහ මංගල්‍යයේදී ජෙමා ඇයව ඇදවට්ටවා ගැනීමට උත්සාහ කළේ යැයි කියන සිදුවීමක් මුල්කරගෙන මෙම අසාධාරණ වෛරය ගොඩනැගී තිබුණි. ඒ හේතුවෙන්ම ඇන්ටෝනියාට මෙම මංගල්‍යයට පැමිණීම පවා තහනම් කර තිබුණි. වඩාත් ඛේදජනක කරුණ නම්, ජෙමාට සිය සැමියා වන කෙන්ව මුණගස්වා තිබුණේ ද ඇන්ටෝනියාගේ වත්මන් ස්වාමිපුරුෂයා වන ජෙමාගේ වැඩිමහල් සොහොයුරා වීමයි. පිළිකා අවදානමක් හේතුවෙන් සිරුරේ බර අඩුවී සෞඛ්‍යමය වශයෙන්ද දැඩිව පීඩා විඳිමින් සිටි කාලයක, එම තත්ත්වය හොඳින්ම දැන දැනත් ජෙමාට මෙම ප්‍රහාරයට මුහුණ දීමට සැලැස්වීම මෙම අපරාධයේ ඇති කෲරත්වය තවත් තීව්‍ර කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ ඇන්ටෝනියාට මාස දහයක අත්හිටවූ සිරදඬුවමක් සහ පැය 160ක ප්‍රජා සත්කාරක සේවයක නිරත වීමට විනිසුරුවරයා නියම කළේය. "ඔබගේ හැසිරීම නිසා ජෙමාගේ ඒ විශේෂ දවස නපුරු හීනයක් බවට පත්වුණා" යනුවෙන් විනිසුරු ඔලිවර් සැක්ස්බි එහිදී අවධාරණය කළේය. නීතියෙන් දඬුවම් ලැබුණද, දෙදරු මවක සහ මානසික සෞඛ්‍ය සේවිකාවක ලෙස සේවය කළ ජෙමාගේ ජීවිතයට සිදුවූ මානසික හානිය කිසිදා මකා දැමිය නොහැක. මෙම සිදුවීමෙන් පසු දැඩි විශාදයට ලක්ව ඇති ඇය, වසර දෙකකට ආසන්න කාලයක් ගතවීත් තවමත් රැකියාවකට යාමට නොහැකිව පීඩා විඳියි. මාලදිවයිනේ ගත කිරීමට සැලසුම් කර තිබූ ඔවුන්ගේ මධුසමය පවා අවලංගු කිරීමට සිදුවූයේ ඇයගේ මානසික බිඳවැටීම හේතුවෙනි.
"මගේ දරුවන් සහ පවුලේ අය නොහිටින්න මම අදටත් මාව බලාගන්න ඇඳෙන් නැගිටින්නේ නැහැ. මට මගේ ගෞරවය, මගේ පැරණි ජීවිතය සම්පූර්ණයෙන්ම අහිමි වුණා" යැයි ජෙමා පවසන විට, සැබැවින්ම ඒ කලු තීන්තයෙන් වැසී ගියේ සුදු මංගල ගවුමක් පමණක් නොව, එක් අහිංසක කාන්තාවකගේ මුළුමහත් අනාගතයම බව අපට පසක් වේ.

