auspicious-horoscope-04

 මේෂ ලග්නය

හදිසි ධන ලාභ: ලග්නාධිපති කුජ, බුධ සහ ශනි සමග 12 වැන්නේ ද, රවි සහ සිකුරු ලග්නයේ ද, සඳු සහ රාහු 11 වැන්නේ ද, කේතු 5 වැන්නේ ද යෙදේ. ගුරු වසර පුරා 3 සහ 4 රාශිවල ගමන් කරයි.

    ගෘහ ජීවිතය: දුරදිග බලා සංසුන්ව, ඉවසීමෙන් කටයුතු කළ යුතු වසරකි. කරදර බාධක මිතුරන්ගෙන් ද එල්ල විය හැකිය. ගුරු ග්‍රහයා හතර වැන්නේ ගමන් කරන නිසා බොහෝ කරදර දෝෂවලින් අත්මිදිය හැකිය. උරුම හිමිකම් වැනි දේපළ වාසනාව, මවගෙන් ලැබීම් ඇතිවේ. අස්ථාන බිය, සැක සහ කලකිරීම් ඇති විය හැකිය. නඩුහබවලට සුදුසු නැත. ගේදොර අභ්‍යන්තර ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත. අන්‍යයන්ට වඩා උසස් ලෙස පෙනී සිටීමට සිතීම ඔබට අවාසිදායක වේ. ජූනි මස සිට ගෙදර දොර වෙළෙඳ ව්‍යාපාර අංශවල දියුණුව ද ඇති කරයි. ගුරු අතුරු දශාවක් තිබේ නම් වඩා ගුණදායක වේ.

    ධනය සහ රැකියාව: ලැබීම් තිබුණ ද වියදම් වැඩි වේ. ස්ථාන මාරුවලට ඉඩ ඇත. බාධා මධ්‍යයේ රැකියාව කරයි. වෙළෙඳ කටයුතු, කොමිස් කොන්ත්‍රාත් නියෝජිත කටයුතුවලින් දියුණුවක් යෙදේ. උපතේදී එකොළහේ සිටි රාහු දශා ඇති අයට හදිසි ධන ලාභ යෙදිය හැකිය.

    අධ්‍යාපනය: උසස් ඉගෙනීම්වල හා කෘෂිකර්ම වෛද්‍ය අංශවල ඉගෙනීම්වල යෙදෙන අයට ද සුබය.

    ශරීර සෞඛ්‍යය: හිසේ උෂ්ණ රෝග පීඩා, ලේ දෝෂ රෝග ඇතිවිය හැකිය. ජුනි 2 දක්වා හදිසි අනතුරු ශල්‍යකර්ම ගැන සැලකිලිමත් විය යුතුය. කල් පවතින උදරාබාධ, කාන්තාවන්ට ගර්භාෂගත දෝෂ, පිළිසිඳ ගැනීමේ දෝෂ යෙදිය හැකිය.

ජය අංක: 6, 8, 9
ජය වර්ණ: නිල්
ජය දින: අඟහරුවාදා, සෙනසුරාදා, සිකුරාදා
ජය මාස: ජනවාරි, පෙබරවාරි
ජය මැණික්: දියමන්ති, රතු, නිල් මැණික්
වෘෂභ ලග්නය

ස්ථාන මාරු: ලග්නාධිපති සිකුරු රවි සමඟ 12 වැන්නේ ද, ගුරු 2 වැන්නේ ද, කේතු 4 වැන්නේ ද, සඳු සහ රාහු 10 වැන්නේ ද, කුජ, බුධ සහ ශනි 11 වැන්නේ ද යෙදී අවුරුද්ද ඇරඹේ.

    ගෘහ ජීවිතය: හිතේ අසහන ගති මතුකරයි. අධ්‍යාත්මික අංශයට යොමු වේ. නෑසියන්ගේ අමනාපකම් ඇති විය හැකිය. සොර සතුරු, ගිනි සහ රජයෙන් පීඩා ඇතිවීමට ඉඩ ඇත. පවුලේ වැඩිහිටි අයට අපලදායක බවක් පවතී. නඩු හබවලට සුබ නැත. පස්කම්වලට අපතේ වියදම් අධික විය හැකිය. නපුරු ගති ද ඇතිවේ. විදේශ ගමන් යෙදේ. අවිවාහකයන්ට යහපත් මංගල සීනු හැඬවේ. ගුරු, බුධ දශා තිබෙන අයට ධන යෝග උදා වේ. ජීවත්වන ස්ථානයේ කරදර, භූමි දෝෂ, භූත දෝෂ මතු වීමට ද ඉඩ තිබේ. ඊර්ෂ්‍යාකාරකම්, අස්ථාන චෝදනා එල්ල විය හැකිය.

    ධනය හා රැකියාව: රැකියා ව්‍යාපාරවල ස්ථාන මාරු යෙදිය හැකිය. දියුණුව අඩු වැඩි වේ. ප්‍රචාරක, ප්‍රවාහන, ජලය, සංචාරක, ආහාරපාන සම්බන්ධ රැකියා ව්‍යාපාර දියුණු වේ. මහන්සියේ තරමට ධනය ලැබේ. ව්‍යාපාරවලට වඩා රැකියා දියුණුව යෙදේ. ඉඩකඩම් පිළිබඳ කටයුතු ද සාර්ථක වේ.

    අධ්‍යාපනය: අධ්‍යාපන කටයුතු වර්ධනය වේ. සංගීතය, චිත්‍ර කලාව, නාට්‍ය, ගණිත මිනිත, පරිගණක විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි නවීන ඉගෙනීම්වලට ද ධෛර්යය, ශක්තිය ඇතිවේ. ප්‍රමාද වී හෝ ඉගෙනීම් සාර්ථක කර ගැනීමට හැකිවේ.

    ශරීර සෞඛ්‍යය: ශරීර ශක්තිය අඩුවිය හැකිය. හිතේ බිය ගති ඇති වේ. පපුවේ සෙම් රෝග පීඩා සහ ලේ දෝෂ රෝග ඇතිවිය හැකිය. පිත් අමාරු, උණ රෝග වැනි උෂ්ණ රෝග ද යෙදිය හැක.

ජය අංක: 5, 6, 8
ජය වර්ණ: කොළ, කහ
ජය දින: බදාදා, සිකුරාදා
ජය මාස: පෙබරවාරි, මාර්තු
ජය මැණික්: පච්ච ගල්
මිථුන ලග්නය

බලාපොරොත්තු ඉටු වේ: අලුත් අවුරුද්ද උදාවන අවස්ථාවේ ලග්නයේ ගුරු දිග් බලයෙන් සිටින අතර, ලග්නාධිපති බුධ, කුජ සහ ශනි සමඟ 10 වැන්නේ නීචව ඇත. කේතු 3 වැන්නේ ද, චන්ද්‍ර හා රාහු 9 වැන්නේ ද, රවි හා සිකුරු 11 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: මේ වසරේ කල්පනාකාරීව, දුරදිග බලා කටයුතු කළ යුතුය. සිතේ අසහන ගති ඇති වේ. දියුණුව අඩුවේ. වන්දනා ආදි ගමන් බිමන් යෙදේ. ගුණ යහපත් අය විවාහයට ලැබේ. අයුක්තියට එරෙහිව නැගී සිටී. සමාජයේ බලවත් තත්ත්වයට පත්විය හැකිය. සමාජයේ දියුණුව ගැන ද සලකයි. සහෝදර සහෝදරියන්ගේ ද ගෙදර දොර ද දියුණුව, අලංකාරය ඇතිවේ. නොපසුබට වුවහොත් කටයුතු සාර්ථක කරගත හැකිය. ඉඩකඩම් ප්‍රශ්නවලින් සමගියට බාධා වේ. උගත් උසස් අයගේ ආධාර උපකාර ලැබිය හැකිය. ජුනි සිට බලාපොරොත්තු වූ පරිදි දියුණුවට වාසනාව උදා වේ.

    ධනය හා රැකියාව: උත්සාහයෙන් මුදල් උපයන අතර අනවශ්‍ය දේවලට ද වියදම් කරයි. ඒ අනුව ආදායම් අඩු වැඩි විය හැකිය. වෙළෙඳ ආදී ව්‍යාපාර කටයුතු ද රැකියාවේ උසස්වීම් දියුණුව සහ පලදීම් ද ඇතිවේ. සෙනසුරු දශා තිබෙන අයට රැකියාවල වෙනස්වීම්, බිඳ වැටීම්වලට ඉඩ ඇත.

    අධ්‍යාපනය: අනාගතය දකින ගුප්ත අංශවල ඉගෙනීම්, ගුණ නුවණ ඥානය ඇති කරන අතර ඉගෙනීමට යහපත් තත්ත්වයක් ඇති වේ. පොත පත කියවීමෙන් දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වේ. ශාස්ත්‍රීය, ශිල්පීය අංශවලට ද දක්ෂතා ඇති වේ.

    ශරීර සෞඛ්‍යය: හිසේ වාතය ආශ්‍රිත රෝග පීඩා සහ චර්ම රෝග යෙදිය හැකිය. අස්ථාන චෝදනා අපහාස ඇතිවීමට ද ඉඩ තිබේ. මුත්‍රා වකුගඩු ආශ්‍රිත රෝග ද යෙදිය හැක. කුඩා අයට මානසික පීඩා කරදර ඇති විය හැකිය.

ජය අංක: 3, 5, 14
ජය වර්ණ: කොළ, කහ
ජය දින: බදාදා, බ්‍රහස්පතින්දා
ජය මාස: මාර්තු, අප්‍රේල්
ජය මැණික්: පච්ච ගල්


කටක ලග්නය

රැකියා දියුණුව: ලග්නාධිපති සඳු 8 වැන්නේ රාහු සමඟ සිටින අතර, කේතු 2 වැන්නේ ද, කුජ, බුධ සහ ශනි 9 වැන්නේ ද, රවි හා සිකුරු 10 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: හිතට සතුට ගෙනෙමින් වසර ආරම්භ වේ. නිතරම වැඩක යෙදීමට සිත දෙයි. මහන්සියට වඩා වැඩි ප්‍රතිඵල ලැබිය හැකි වේ. කිසිවකුට වහල් නොවී රැකියා සහ සියලු කටයුතු උසස් ලෙස කිරීමට සිතයි. සියල්ලන් සමගම සුහදව කටයුතු කළ හැකිය. සතුරන් මිතුරු වේ. ගොවිතැන්, කෘෂිකර්ම කටයුතුවලින් ද ලාභ ලැබිය හැකිය. ප්‍රසිද්ධියට කැමැති වේ. යුගදිවිය සාර්ථක වේ. සමාජ කටයුතු නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ තිබේ. සතුරු, නෑදෑ කරදරවලට ඉඩ තිබේ. වැඩිහිටියන්ට අපල ඇති වේ. නඩුහබ සුදුසු නැත. රහස්‍ය කටයුතු ඇති වේ.

    ධනය සහ රැකියාව: රැකියා අංශවලින් ධනය දියුණු වේ. රැකියා ස්ථාන මාරු ඇති වීමට ද ඉඩ ඇත. වෙළෙඳ ආදී ව්‍යාපාර කටයුතුවලට ද සුබදායක වේ. බාධකවලින් තොරව තනතුරු, ධනය ලැබේ. වියදම් ද යෙදේ. පුණ්‍ය කටයුතුවලට වියදම් යෙදේ.

    අධ්‍යාපනය: ඉගෙනීම් කටයුතුවලට යහපත් කාලයක් වේ. උසස් අධ්‍යාපනයෙහි ද වාසනාව උදාවේ. වෛද්‍ය, නීති අංශවල ඉගෙනීමේ නියුතු අයට ද වඩාත් යෝග්‍ය වේ. ඉගැන්වීමට ද හැකියාව ඇති වේ. බාධා මැඩගෙන අධ්‍යාපන කටයුතු දියුණු කර ගත හැකිය.

    ශරීර සෞඛ්‍යය: දත්වල අමාරු, උෂ්ණාධික ලේ දෝෂ රෝග ඇතිවීමට ඉඩ ඇත. උදරගත රෝග පීඩා ද ඇතිවේ. කාන්තා පක්ෂයට ගර්භාෂගත රෝග යෙදිය හැකිය. නහරගත පීඩා ද යෙදිය හැකිය.

ජය අංක: 2, 7, 9
ජය වර්ණ: සුදු, කහ
ජය දින: අඟහරුවාදා, සිකුරාදා
ජය මාස: අප්‍රේල්, මැයි
ජය මැණික්: පච්ච, දිය පච්ච
සිංහ ලග්නය

විදේශ සබඳතා: කේතු ලග්නයේ ද, ලග්නාධිපති රවි උච්ච බලයෙන් සිකුරු සමඟ 9 වැන්නේ ත්‍රිකෝණගතව ද ඇත. සඳු සහ රාහු 7 වැන්නේ ද, බුධ, කුජ සහ ශනි 8 වැන්නේ ද, ගුරු අයස්ථානගතව ද ඇත.

    ගෘහ ජීවිතය: සිංහ ලග්නයට සුබදායක වසරක් උදාවේ. එඩිතරකම, කඩිසරකම ඇති වේ. ප්‍රමුඛස්ථානයට ඉදිරිපත් වේ. ආත්ම ගෞරවයෙන් කටයුතු කරයි. විදේශ සම්බන්ධතා ඇතිවේ. උරුම හිමිකම් ඉබේ ලැබේ. ප්‍රසිද්ධ ජීවිතයකට වාසනාව උදා වේ. ශාරීරික ශක්තිය මානසික ශක්තිය, උනන්දුව ඇති වේ. පොළොවෙන් ලැබීමේ වාසනාව ද හිමි වේ. මිත්‍රයන්ගෙන් දියුණුවට උපකාර ලැබේ. කීර්ති නාමයට කරදර බාධා අපහාස උපහාස එල්ල වීමට ද ඉඩ ඇත. අවිවේකී ය. සෙනසුරු දශා, අතුරු දශා, විදශා ඇති අයට අෂ්ටම ඒරාෂ්ටකය ගැන සැලකිලිමත් වන්න. කපුටු දානය දෙන්න. එළවළු වෑංජන සමඟ කැකුළු බත් සංඝයා වහන්සේට දන් දී සිවුරක් පූජා කරන්න. කරන කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතු ද දියුණු වේ.

    රැකියාව හා ධනය: අනපේක්ෂිත ධන ලාභ ඇත. රැකියාවේ කරදර බාධක රහිතව උසස්වීම්, නිලතල ලැබිය හැකිය. රැකියා බලාපොරොත්තු අයට සුබදායක ය. ප්‍රමාණවත් ආදායම් මාර්ග උදාවේ. ආර්ථික අපහසුතා ඇති නොවේ.

    අධ්‍යාපනය: ඉගෙනීමට කැමැති වේ. ගණිත ජ්‍යොතිෂ ආදී ගැඹුරු දේවලට යොමු වේ. බුද්ධිය දැනුම ඇති වේ. මහන්සි නොබලා කටයුතු කිරීමෙන් උසස් සාමාර්ථ්‍ය ලැබිය හැකිය.

    ශරීර සෞඛ්‍යය: වාතාබාධ, මුත්‍රා ආශ්‍රිත රෝග, ලේ දෝෂ, හදිසි අනතුරු වැටීම් තැලීම් ආදියෙන් ආරක්ෂා විය යුතුය.

ජය අංක: 1, 4, 5
ජය වර්ණ: රතු
ජය දින: බ්‍රහස්පතින්දා
ජය මාස: මැයි, ජුනි
ජය මැණික්: බෙරලියන්තු


කන්‍යා ලග්නය

ප්‍රීතිය සතුට: ලග්නාධිපති බුධ, කුජ සහ ශනි සමඟ නීචව 7 වැන්නේ ඇත. සඳු සහ රාහු 6 වැන්නේ ද, රවි සහ සිකුරු 8 වැන්නේ ද, ගුරු 10 වැන්නේ ද, කේතු 12 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: මේ වසරේ යහපත වාසනාව සෙත ශාන්තිය ප්‍රීතිය සතුට ඇතිවේ. සමාජයේ උසස් තත්ත්වයට පත්වීමේ වාසනාව පවතී. පවුලේ දියුණුව ඇති වේ. බලාපොරොත්තු නොවූ ලෙස ධනය ලැබේ. පොළොවෙන් ලැබීම් ද ඇති වේ. ගේ දොර දේපළ, යාන වාහන ලැබේ. යහපත් මංගල කටයුතු ද උදා කරයි. දරුවන්ගේ දියුණුව ද ඇති කරයි. කාලය ප්‍රයෝජනවත් ලෙස යෙදීම දියුණුවට හේතුවකි. ගමන් බිමන්වලදී කරදර බාධා විපත්ති ඇති විය හැකිය. ආගමික භක්තිය ශ්‍රද්ධාව ඇති කරයි. නඩුහබ නුසුදුසු ය. තමා කරන දේවල් නිසා නින්දා අපහාස ආදියට ලක්වීමට ද ඉඩ තිබේ.

    ධනය හා රැකියාව: අනපේක්ෂිත, රහස් ක්‍රමවලින් ධනය ලැබීමට වාසනාව පවතී. ධන හානි ද ඇතිවිය හැකිය. ගෞරවාන්විතව, රැකියාවේ උසස් තත්ත්වයකට පත්විය හැකිය. දේපළ ලැබේ. පසුවකාලීනව රැකියාවේ අවුල් වියවුල් ඇතිවීමට ද ඉඩ තිබේ.

    අධ්‍යාපනය: උත්සාහයෙන් බාධා මධ්‍යයේ ඉගෙනීම් කටයුතු දියුණු කර ගත හැකිය. චිත්‍ර කලාව සංගීතය වැනි අංශවලට සුබයි. උපතේ දී ගුරු බලවත් නම් ඉගෙනීම වඩා සාර්ථක කරගත හැක.

    ශරීර සෞඛ්‍යය: ගින්නෙන් විදුලියෙන් හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතු ය. පපුවේ සෙම් දෝෂ පීඩා උදරගත රෝග ද, මුත්‍රා ආශ්‍රිත උෂ්ණ රෝග ද, කාන්තාවන්ට ගර්භාෂගත රෝග යෙදිය හැකිය.

ජය අංක: 2, 5, 7
ජය වර්ණ: සුදු, කහ
ජය දින: බදාදා, සිකුරාදා
ජය මාස: ජුනි, ජුලි
ජය මැණික්: පද්ම රාග, රතුකැට
තුලා ලග්නය

වාහන ලාභ: ලග්නාධිපති සිකුරු රවි සමඟ 7 වැන්නේ ද, චන්ද්‍ර හා රාහු 5 වැන්නේ ද, කුජ, බුධ සහ ශනි 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: තිබූ කරදර බාධා මඟහැරේ. තම උත්සාහය අනුව වැඩිදුර දියුණුව ඇතිකරගත හැකිය. අහිමිවුණ වස්තු පවා ලැබීමට ඉඩ තිබේ. සැප පහසු භාණ්ඩ, වාහන මිලදී ගැනීමට ද හැකි වේ. ප්‍රසිද්ධිය, කීර්තිය, ගෞරවය ලැබේ. ආගමික අංශයෙන් ද දියුණුව ඇති වේ. ආර්ථික දියුණුව කෙසේ වුවත් හිතේ දියුණුව ඇති වේ. දුරදිග නොබැලීමෙන් අපහසුතාවයට ද පත් වේ. තද කෝප ගති ද මතුවේ. මව්පස දේපළ ලැබීමට ද ඉඩ තිබේ. දරුවන්ගේ රැකියා ප්‍රශ්න පහසුවෙන් විසඳිය හැකිය. නිදහස ගරු කරයි. තම මතයට අනුව කටයුතු කරයි. තමා උසස් යැයි සිතයි.

    ධනය හා රැකියාව: ධන ධාන්‍ය ලැබේ. හවුල් ව්‍යාපාර සාර්ථක විය හැකිය. වියදම් අඩු කරයි. ඉතිරි කිරීමට සිත යොමු කරයි. ඉඩකඩම්වල ප්‍රමාණවත් දියුණුවක් ලැබිය හැකිය. ඉපැයීමේ දක්ෂතා නිරන්තරයෙන් ඇති වේ. අනවශ්‍ය වියදම් නොකරයි. රහසිගත ආදායම් ලැබීමට ද ඉඩ ඇත. රැකියාවේ අපේක්ෂිත දියුණුව උසස්වීම් ලැබේ. රෝග පීඩාවලට වියදම් වේ.

    අධ්‍යාපනය සහ ඉගෙනීම: දැනුම, බුද්ධිය ඇතිවේ. සංගීතය, චිත්‍ර වැනි සෞන්දර්ය අංශවල, තාක්ෂණික පරිගණක යාන්ත්‍රික ඉංජිනේරු අංශවල ඉගෙනීම්වලින් පල ප්‍රයෝජන ගත හැකි වේ.

    ශරීර සෞඛ්‍යය: මුත්‍රා ආශ්‍රිත උෂ්ණ රෝග පීඩා, උදරගත උෂ්ණ රෝග, ස්නායු දුර්වලතා, හිසේ සහ සමේ රෝග ද, දණහිසෙන් පහළ හෝ තුනටියේ ආබාධ යෙදිය හැකිය.

ජය අංක: 1, 2, 4
ජය වර්ණ: සුදු, රතු
ජය දින: ඉරිදා, සඳුදා
ජය මාස: ජුලි, අගෝස්තු
ජය මැණික්: දියමන්ති, සුදු, නිල් මැණික්
වෘශ්චික ලග්නය

යහපත් ප්‍රතිඵල: ලග්නාධිපති කුජ, ශනි හා බුධ සමග 5 වැන්නේ ද, සඳු හා රාහු 4 වැන්නේ ද, රවි හා සිකුරු 6 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, කේතු 10 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: තරමක වාසනාවන්ත කාලයකි. කරන කියන කටයුතු, ඉඩකඩම් ගේ දොරවල දියුණුව යෙදෙයි. ප්‍රීති උත්සව ඇතිවේ. අලංකාරවත් දේ මිලදී ගැනීමට හැකි වේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. රෝග පීඩා හා සතුරු කරදර ගැන හිතේ බිය ද වියදම් ද ඇති වේ. දෙලොව ගැනම උනන්දුව ඇති වේ. ආගම දහමට කැපවේ. දෙමාපිය ගුරුවරාදීන්ට ගෞරව දක්වයි. පිය උරුමයෙන් දියුණුව ද ඇති වේ. මහන්සිය අනුව යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. අවිවාහක අයට මංගල යෝග ද උදාවේ. සෙනසුරු දශා ඇති අයට නොසැලකිල්ල නිසා අනපේක්ෂිත කරදර ඇති වුවත් ඒවා මැඩ පැවැත්විය හැකිය. කිසිවකුට දෙවැනි නොවේ.

    ධනය හා රැකියාව: ආදායම වියදම සමානව යෙදේ. රහස් ගුප්ත ක්‍රමවලින්, ඉඩකඩම්වලින් ධනය ලැබේ. ආර්ථික අපහසුතා නොයෙදේ. රැකියාවේ දියුණු වුවත් සතුරු කරදර ඇතිවේ. දැනුම බුද්ධිය යොදවන කටයුතු, වෙළෙඳ ව්‍යාපාර කටයුතු ද දියුණුවේ.

    අධ්‍යාපනය: ගුප්ත විද්‍යාවට ජ්‍යොතිෂයට සිත යොමු වේ. කෙළි සෙල්ලම්, මුරණ්ඩුකම් ඉගෙනීමට බාධාවකි. උනන්දුව අනුව උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. ආගමික ඉගෙනීම් දියුණු වේ.

    ශරීර සෞඛ්‍යය: උෂ්ණ රෝග පීඩා, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියවල රෝග, උදරගත රෝග, කාන්තාවන්ට ගර්භාෂගත රෝග, පපුවේ උගුරේ බෙල්ලේ සෙම් දෝෂ, ලේ දෝෂ හදිසි අනතුරු, හිසේ පීඩා සහ හමේ රෝග ද යෙදිය හැකිය.

ජය අංක: 3, 4, 9
ජය වර්ණ: කහ, රතු
ජය දින: ඉරිදා, සඳුදා
ජය මාස: අගෝස්තු, සැප්තැම්බර්
ජය මැණික්: පුෂ්ප රාග, කහපාට ගල්
ධනු ලග්නය

කීර්තිය ලැබේ: ලග්නාධිපති ගුරු 7 වැන්නේ ද, චන්ද්‍ර හා රාහු 3 වැන්නේ ද, කුජ, බුධ හා ශනි 4 වැන්නේ ද, රවි හා සිකුරු 5 වැන්නේ ද, කේතු 9 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කළ හැකිය. ප්‍රසිද්ධිය, කීර්තිය ඇතිවේ. ගුප්ත අංශවලට ද සිත යොමු වේ. මෙලොව පරලොව දියුණුව ගැන සැලකිල්ලක් දක්වයි. සමාජයට හිතවත් ය. නොසලකා හැරීම නිසා තමා විසින්ම වැඩ අතපසු කර ගනී. පටන් ගන්නා සමහර වැඩ අසාර්ථක වීමට ද ඉඩ ඇත. දුර බැහැර ගමන් නිසා විවේකය අඩු වේ. පරම්පරා උරුම හිමිකම් හෝ මවගේ දේපළ ලැබීමට ද ඉඩ තිබේ. රැකියා, ඉඩකඩම් අංශවලින් දියුණු විය හැකිය. උගත් උසස් අයගෙන් උපකාර ලැබිය හැකිය. අලංකාරයට සැප පහසුවට අවශ්‍ය දේ ලැබේ. අස්ථාන චෝදනා එල්ලවිය හැකිය. නව වසර අසුබ නැත. උනන්දුවෙන් කටයුතු සාර්ථක කරගත හැකිය.

    ධනය හා රැකියාව: වෙහෙස මහන්සි වී හස්ත කර්මාන්තවලින්, කලාත්මක, සියුම් කටයුතු, දැනුමෙන් බුද්ධියෙන්, වෙළඳ ව්‍යාපාරවලින් මුදල් ලැබිය හැකිය. බලවත් ආර්ථික දුෂ්කරතා ඇති නොවේ. රජයේ උසස් තනතුරු, ආරක්ෂක අංශවල නිලතල ලැබිය හැකිය.

    අධ්‍යාපනය සහ ඉගෙනීම: අලුත් දේවල්, ශාස්ත්‍රීය, ශිල්පීය අංශ ද, ගණිත මිනිත, ගුප්ත විද්‍යා ද උගත හැකි ධාරණ ශක්තිය පවතී. බාධා මැඩගෙන ඉගෙනීම දියුණු කර ගැනීමේ බලය පවතී. කවියට කලාවට සෞන්දර්ය අංශවල සහජ දස්කම් ඇති බැවින් ඒවා උගත හැකිය.

    ශරීර සෞඛ්‍යය: වාත වේදනා, නහරගත පීඩා, පාදවලට ද බලපෑම්, හිසේ සෙම් දෝෂ පීඩා, උෂ්ණ රෝග, කන්වල හෝ අත්වල රෝග, ලේ දෝෂ නිසා චර්ම රෝග යෙදෙන අවස්ථා ද ඇති වේ.

ජය අංක: 3, 5, 6
ජය වර්ණ: කොළ, සුදු
ජය දින: බදාදා, සිකුරාදා
ජය මාස: සැප්තැම්බර්, ඔක්තෝබර්
ජය මැණික්: කොළ, ළා නිල්, පසිංගල්
මකර ලග්නය

වීර්යවන්ත වේ: ලග්නාධිපති සෙනසුරු, කුජ සහ බුධ 3 වැන්නේ ද, සඳු හා රාහු 2 වැන්නේ ද, රවි හා සිකුරු 4 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, කේතු 8 වැන්නේ ද යෙදෙයි.

    ගෘහ ජීවිතය: ගති පැවතුම් යහපත් ය. ඕනෑම අමාරු දෙයක් නොපසුබට වීර්යයෙන් කිරීමට දක්ෂතා ද පවතී. ආගමික සමාජ සේවා කටයුතුවලින් කීර්තිය ප්‍රසිද්ධිය ලබයි. ලාභ අලාභ විඳ දරා ගනී. දියුණුව ප්‍රමාද වුවත් ගේ දොර ඉඩකඩම් ලැබිය හැකිය. ඥාතීන් සමඟ සුහද වේ. චරිතය පිරිසුදු වේ. කිසිවකුට යටත් නැත. රහස් වංචා නැත. කරුණාවන්ත, ත්‍යාගශීලී බව ද ඇතිවේ. ප්‍රීතිය සතුට ගෙනෙන කාලයකි. බලය වැඩිකරගත හැකිය. නව මිතුරන්, භූමි ලාභ ලැබේ. සිත් තැවුල්, ආරවුල් ඇතිවිය හැකිය. අසල්වාසී, සොර සතුරු කරදර, අනතුරු පීඩා ඇතිවීමට ද ඉඩ ඇත. අලුත් දේවල් මිලදී ගැනීමට ද හැකි වේ. බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් බොහෝ අසුබ කරුණු මඟ හරවාගත හැකිය.

    ධනය සහ රැකියා: ධනය ලැබේ. වියදම් ඇති වේ. රැකියා ස්ථාන මාරුවීම් ඇතිවිය හැකිය. ජලයට සම්බන්ධ කටයුතු සහ ගමනාගමන කටයුතුවලින් ද ආදායම් ලැබිය හැකිය. රැකියාවේ දියුණුව සහ උසස්වීම් ඇතිවේ. බලවත් කරදර ඇති නොවේ.

    අධ්‍යාපනය: ඉගෙනීමට දක්ෂ වේ. ගුප්ත ශාස්ත්‍රීය අංශ, ගණිත මිනිත මෙන්ම කාර්මික පිළිබඳව ද සහජ දැනුම අවබෝධය ඇති වේ. දැනුම බුද්ධිය ධාරණ ශක්තිය යහපත් වේ. ශිල්ප ශාස්ත්‍රීය අංශවලින් ප්‍රසිද්ධිය ද ලැබිය හැකිය.

    ශරීර සෞඛ්‍යය: දත්වල, ඇස්වල, හිසේ අමාරු, රුධිර පීඩනය, පපුවේ උෂ්ණාධික රෝග, සෙම් දෝෂ පීඩා ද ඇති වේ.

ජය අංක: 6, 8, 9
ජය වර්ණ: රතු, නිල්
ජය දින: අඟහරුවාදා, සිකුරාදා
ජය මාස: ඔක්තෝබර්, නොවැම්බර්
ජය මැණික්: චන්ද්‍රකාන්ත


කුම්භ ලග්නය

විවිධ ලැබීම්: ලග්නාධිපති සෙනසුරු, කුජ සහ බුධ 2 වැන්නේ ද, චන්ද්‍ර හා රාහු ලග්නයේ ද ඇත. රවි හා සිකුරු 3 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද වේ.

    ගෘහ ජීවිතය: ගෙදර දොර අලංකාරය, අලුත් ගෘහ භාණ්ඩ ආදිය ලැබිය හැකිය. විනෝදයෙන් කල්ගත කිරීමට බලයි. කරදර බාධක ඇති වුවත් එඩිතරව කටයුතු කරයි. ගමන් බිමන් සාර්ථක වේ. සාධාරණව කටයුතු කරයි. ප්‍රමාද වී හෝ උරුම හිමිකම් ලැබිය හැකිය. දේශපාලනයට ද යොමු විය හැකිය. කෙසේ හෝ කීර්තිය ප්‍රසිද්ධිය ඇති වේ. තම මතය අනුව කටයුතු කරයි. අනුකම්පාව කරුණාව ඇතිවේ. සමාජ සේවා මෙන්ම ආගමික කටයුතුවල ද යෙදෙයි. නොගැළපෙන සම්බන්ධ හේතු කොට විවාහ දිවියේ ගැටලු, චෝදනා නින්දා අපහාස ඇතිවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් වාසනාව මතු වේ.

    ධනය හා රැකියා: අනුන්ගෙන් ධනය ලැබෙන අතර ධන හානි ද ඇතිවිය හැකිය. මිල මුදල් රැස්කර ගැනීමට ආශාව ඇති වේ. පලදීම තරමක් අඩුය. මිල මුදල් යොදවා කරන කටයුතු ද යහපත් වේ. රැකියා මෙන් ව්‍යාපාර ද යහපත් වේ. වෙහෙස වී දියුණුව උදාකරගත හැකිය. රැකියාව වෙනස් වුවත් පසුව වඩා දියුණු එකක් ලැබිය හැකිය. මිල මුදල් අගහිඟ වුවත් අවශ්‍ය වේලාවට ලැබේ.

    අධ්‍යාපනය: කාර්මික, කලා, ගණිත මිනිත ජ්‍යොතිෂ වැනි ගුප්ත අංශවල ඉගෙනීම් දියුණු කළ හැකිය. ඥාන ශක්තිය තිබේ.

    ශරීර සෞඛ්‍යය: ඇස්වල, දත්වල රෝග, පීනස වැනි හිසේ රෝග ද, ලේ දෝෂ රෝග ද යෙදිය හැක. කාන්තාවන්ට ගර්භාෂගත රෝග යෙදිය හැක. උදරාබාධ ද යෙදේ.

ජය අංක: 2, 3, 9
ජය වර්ණ: කහ, රතු, සුදු
ජය දින: බ්‍රහස්පතින්දා, සිකුරාදා
ජය මාස: නොවැම්බර්, දෙසැම්බර්
ජය මැණික්: නිල් මැණික්
මීන ලග්නය

දියුණුව සැලසේ: ලග්නාධිපති ගුරු 4 වැන්නේ ද, කුජ, බුධ සහ ශනි ලග්නයේ ද, රවි සහ සිකුරු 2 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, චන්ද්‍ර හා රාහු 12 වැන්නේ ද ඇත.

    ගෘහ ජීවිතය: සියලු කටයුතුවලින් දියුණුව ඇතිවීමට ඉඩ තිබෙන කාලයකි. ජුනි 2 සිට හංස යෝගය ද යෙදේ. ගේ දොර ඉඩ කඩම් මෙන්ම බොහෝ දේවල්වල ලැබීම් ඇති වේ. කාරුණික හැඟීම්වලින් ද යුක්ත වේ. සමාජ ගෞරවය ලබන අතර අනාගතය, රැකියාව ගැන අවබෝධයක් ඇති වේ. යහපත් මංගල කටයුතු ද උදා වේ. විශේෂ දියුණුව උදා කරයි. කරදර බාධක අඩුය. තිබුණත් මග හැර ඉදිරියට යාමේ ශක්තිය ඇතිවේ. ප්‍රසිද්ධිය ගෞරවය අපේක්ෂා කරන අතර ඒවා ලබා ගැනීමට ද හැකි වේ. සෙනසුරු දශා තිබෙන අයට ලග්න ඒරාෂ්ටකය පවතී. කපුටු දානය දීම, සිවුරක් පූජා කිරීම ආදිය සුබයි. ඇවිදිලි ගමන් බිමන් යෙදේ.

    ධනය සහ රැකියා කටයුතු: ලාභ ලැබීම් ඇති වේ. නිතර වෙනස්වීම් ඇති විය හැකිය. ප්‍රමාණවත් ආර්ථික ස්ථාවරයන් සහ දියුණුවක් ඇතිකරගත හැකිය. ගේදොර ඉඩකඩම් යානවාහන, රැකියා, ව්‍යාපාර දියුණුව ඇති වේ.

    අධ්‍යාපනය: විවිධ අංශ පිළිබඳව දැනුම දියුණුකර ගත හැකිය. කලාත්මක අංශයේ, පොත පත ආශ්‍රයෙන් කරන ඉගෙනීම්වලට ඉතා සුබයි. ගුප්ත අංශවල හැකියාව ද ඥාන ශක්තිය ධාරණ ශක්තිය පවතී. විභාග ආදියට යහපත් වේ.

    ශරීර සෞඛ්‍යය: හිසේ උෂ්ණ රෝග පීඩා, ඇස්වල, දත්වල අමාරු ඇතිවිය හැක. උගුරේ සෙම් දෝෂ, උදරගත රෝග පීඩා හේතුවෙන් ශාරීරික දුර්වලතා ඇතිවිය හැක.

ජය අංක: 1, 3, 4
ජය වර්ණ: රතු, කහ
ජය දින: ඉරිදා, බ්‍රහස්පතින්දා
ජය මාස: දෙසැම්බර්, ජනවාරි
ජය මැණික්: පළිඟු ගල්

ජ්‍යොතිෂවේදී - සෝමපාල විජේසූරිය (සුබසෙත)