
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු තීරයේදී ඊයේ (16) දිනයේ නාවික හමුදාව විසින් දියත් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ද එක්ව සිටි අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී එම යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය විශේෂය හෙරොයින් බවට නිල වශයෙන් තහවුරු කරගෙන ඇත.
එම යාත්‍රාව තුළ ඉතා සූක්ෂම ලෙස උර හයක අසුරා තිබියදී අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 150කට අධික බව ද වාර්තා වේ.
මත්ද්‍රව්‍ය තොගය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ සැකකරුවන් සිව්දෙනා ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව, ඔවුන්ව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් සිදු කරමින් පවතියි.



