minister-dr-anil-jayanta-did-not-say-earlier-that-hackers-will-do-it-again

ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය නියෝජිතායතනය (Australian Export Finance Agency) වෙත ගෙවීමට තිබූ අරමුදල් වංචනික ලෙස ලබා ගත් හැකර්වරුන්, ඊට අමතරව ඉන්දියාවට කිරීමට තිබූ ගෙවීමක් ද එලෙසම ලබා ගැනීමට උත්සාහ කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. මෙම දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අනාවරණය වී ඇත්තේ ඔවුන් විසින් ඉන්දියාවට ගෙවීමට තිබූ අදාළ අරමුදල් වෙනත් පාර්ශ්වයක් වෙත හැරවීමට ගත් උත්සාහයත් සමග බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




මෙම අදාළ ගෙවීම්වලට සම්බන්ධ බැංකු ගිණුම් අංක නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙන් බලධාරීන්ට යම් සැකයක් මතු වී ඇත. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත වහාම පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය නියෝජිතායතනයට අදාළ ගෙවීම් හැකර්වරුන් විසින් මෙලෙස සොරාගෙන ඇති බව තහවුරු වී ඇත. ඉන් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, මේ වන විට ඔවුන් විසින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතී.




මීට අමතරව, මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තරව සොයා බැලීමට නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගේ ද සහභාගීත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව විසින් ලබා දුන් නිර්දේශ මත පදනම්ව, මේ වන විටත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සිදුවීම පිළිබඳව ජනතාවට තොරතුරු හෙළි නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් නගන චෝදනා ප්‍රතික්ෂේප කළ ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට වඩා රජයේ අරමුණ වූයේ මේ සම්බන්ධයෙන් කඩිනම් සහ ඵලදායී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවයි. සංවේදී තොරතුරු බාහිරට කාන්දු වීම මගින් වක්‍රව හැකර්වරුන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවින්, රජයේ ප්‍රමුඛතම අවධානය යොමු වූයේ එම හැකර්වරුන් නීතියේ රැහැනට හසුකර ගනිමින් අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමටය. ඇතැම් දේශපාලනඥයින් විසින් පතුරුවනු ලබන පදනම් විරහිත සහ අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, විමර්ශනවල ප්‍රගතිය මත පදනම්ව අවශ්‍ය අවස්ථාවලදී අදාළ සියලු තොරතුරු ජනතාවට හෙළි කිරීමට රජය කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.