
අධික හිරු රශ්මිය හමුවේ ශරීරයට ඇති වන බලපෑම් හුදෙක් සූර්යතාපයට පමණක් සීමා නොවන බවත්, ඒ ආශ්‍රිතව තවත් සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. විශේෂයෙන්ම දැඩි රශ්මයත් සමඟ ඇති වන හිසරදය, මිග්‍රේන් තත්ත්වයන්, විවිධ අසාත්මිකතා මෙන්ම මුත්‍රා මාර්ගයේ ආසාදන සහ නින්ද නොයාම වැනි සංකූලතා මෙවැනි කාලවලදී බහුලව දක්නට ලැබේ.
මීට අමතරව උෂ්ණාධික කාලගුණයත් සමඟ විවිධ බෝවන රෝග සීඝ්‍රයෙන් පැතිර යාමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බවද හඳුනාගෙන ඇත.උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ චර්ම රෝග, ඇස් රෝග මෙන්ම පැපොල සහ කම්මුල්ගාය වැනි රෝගී තත්ත්වයන් පිළිබඳව මහජනයා දැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙවැනි කාලසීමාවලදී බරපතල ලෙස පිරිහීමට ලක්විය හැකි බැවින් ඔවුන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. මෑතකාලීන පර්යේෂණ දත්තවලට අනුව දැඩි රශ්මය පවතින කාලවලදී ආඝාතය වැළඳීමේ අවදානම සියයට 3.8කින් පමණ ඉහළ යන බව අනාවරණය වී ඇති බැවින් අවදානම් කාණ්ඩවල පසුවන්නන් තම රෝගී තත්ත්වයන් නිසි ලෙස පාලනය කර ගැනීමට වගබලා ගත යුතුය.
දැඩි උෂ්ණත්වය දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට බාධා පමුණුවන ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. ශරීරයෙන් අධික ලෙස ජලය ඉවත් වීම හෙවත් විජලනය හේතුවෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යා හැකි අතර, එය නිතර මුත්‍රා පිටවීමට බලපාන බැවින් ශරීරය තවදුරටත් විජලනය වීමට මග පාදයි. මේ හේතුවෙන් දැඩි තෙහෙට්ටුව, අධික පිපාසය, කරකැවිල්ල සහ හිසරදය වැනි අපහසුතාවන් රෝගීන් තුළ නිරන්තරයෙන් වර්ධනය විය හැකිය.
පරිසර උෂ්ණත්වය ඉහළ යාම ඉන්සියුලින් වැනි ඖෂධවල සහ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන උපකරණවල නිසි ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් ඒවා ඍජු හිරු රශ්මියෙන් තොර සිසිල් ස්ථානවල ගබඩා කර තැබීමට අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. පිපාසය දැනුණද නොදැනුණද ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම මෙවැනි කාලවලදී කළ යුතු වැදගත්ම කාර්යයක් වන නමුත් කැෆේන් හෝ සෝඩියම් අධික ලෙස අඩංගු කෝපි, තේ සහ මධ්‍යසාර වැනි පාන වර්ග මගින් ශරීරයේ ජලය තවදුරටත් ඉවත් වන බැවින් ඒවා භාවිතයෙන් වැළකී සිටීම සෞඛ්‍යාරක්ෂිත වේ. රුධිරයේ සීනි මට්ටම හදිසියේ පහළ යාම සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අපහසුතා අතර සමානකම් පවතින බැවින් ඒ පිළිබඳව නිසි වැටහීමකින් යුතුව කටයුතු කිරීම වැදගත්ය.
හිරු රශ්මියට නිරාවරණය වීමෙන් පසු දහදිය දැමීමත් සමඟ ඇති වන ශරීරයේ උෂ්ණත්ව වෙනස්වීම් නිසා හෙම්බිරිස්සාව සහ උණ වැනි රෝග ලක්ෂණ මතු වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙවැනි අවස්ථාවකදී සතියක පමණ කාලයක් විවේකීව සිටීමෙන් සහ ප්‍රමාණවත් ලෙස දියර වර්ග පානය කිරීමෙන් සුවය ලබාගත හැකි වුවද, රෝග ලක්ෂණ සතියකට වඩා පවතින්නේ නම් හෝ උත්සන්න වන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිර්දේශ කෙරේ. මිග්‍රේන් රෝගයෙන් පීඩා විඳින්නන් සෘජුව හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු අතර පිටතට යන විට කුඩයක් භාවිත කිරීම සහ වෛද්‍ය නිර්දේශ මත නියමිත ඖෂධ ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
අධික උෂ්ණත්වය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයටද සෘජුව බලපෑම් කරන අතර ඒකාග්‍රතාවය ගිලිහී යාම, අනවශ්‍ය ලෙස කෝපය ඇති වීම සහ දැඩි නොසන්සුන්කාරී බව මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස හඳුනාගත හැකිය. රාත්‍රී කාලයේ නිසි පරිදි නින්ද නොයාම කෙරෙහිද පරිසර උෂ්ණත්වය බලපාන අතර දීර්ඝ වේලාවක් දැඩි හිරු රශ්මියේ රැඳී සිටීමෙන් මොළයට සහ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදු වී සිහි විසඥ වීම පවා සිදුවිය හැකි බව අලප්පුල රජයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අංශයේ මහාචාර්ය බී. පද්මකුමාර් මහතා පෙන්වා දෙයි. ඒ අනුව හිරු රශ්මියට නිරාවරණය වීමෙන් පසු ඇති වන හිසරදය වැනි ලක්ෂණ කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු නොවන බව වෛද්‍ය මතයයි.
(NDTV ඇසුරිනි)
