mahamolakaru-ranmuthugala-amithananda-is-also-doing-old-work

බුදුන් වහන්සේගේ නිර්මල දර්ශනය ආරක්ෂා කිරීමට සිවුරක් දරාගත් පිරිසක්, මත්ද්‍රව්‍ය ජාවාරමේ අඳුරු අගාධයට ඇද වැටීම තරම් සමාජ කම්පනයක් තවත් ඇත්ද?




රුපියල් මිලියන ගණනක් වටිනා කිලෝග්‍රෑම් 110කට අධික කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ චීවරධාරීන් විසි දෙදෙනෙකු මේ වන විට නීතියේ රැහැනට කොටුවී, දින හතක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීම් වලට ලක්වෙමින් සිටිති. මෙහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රන්මුතුගල විහාරයේ අමිතානන්ද නැමැත්තා ද ඊයේ ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ අතර, මෙම සමස්ත ජාවාරම මෙහෙයවා ඇත්තේ ඔහු ඇතුළු තවත් හිමිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් විසිනි.

මෙම සිදුවීමේ වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ, මීට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු වයස අවුරුදු 19ත් 28ත් අතර පසුවන තරුණ හිමිවරුන් වීමය. අමිතානන්ද ඇතුළු ජාවාරම්කරුවන් විසින් වට්ස්ඇප් සමූහ හරහා සූක්ෂමව සැලසුම් කර, දුෂ්කර පළාත්වල වැඩවසන අහිංසක තරුණ හිමිවරුන්ව තායිලන්තයේ බැංකොක් නුවර සුඛෝපභෝගී විදෙස් සංචාර සඳහා රැගෙන ගොස් ඇත. එහිදී ඔවුන්ට අවශ්‍ය සැප සම්පත් ලබා දී අවසන් මොහොතේදී ලංකාවට ගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය අඩංගු ගමන් මලු 22ක් ඔවුන් අතට පත් කර තිබේ. ගුවන් තොටුපළෙන් පිටත වෑන් රථයක් ද සහිතව මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට අමිතානන්ද සූදානමින් සිටියද, අවධියෙන් සිටි පොලිස් නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් එම කුමන්ත්‍රණය ව්‍යර්ථ විය.




මෙය එක්වරක් සිදුවූ අහඹු සිදුවීමක් නොවේ. මීට පෙරද අවස්ථා දෙකකදී මෙම කණ්ඩායම විසින්ම හිමිවරුන් 12 නමක් යොදාගෙන බැංකොක් නුවර සිට මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බව විමර්ශන නිලධාරීන් මේ වන විට තහවුරු කරගෙන ඇත. එලෙස රැගෙන ආ මත්ද්‍රව්‍ය අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට භාර දී ඇති අතර, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට එම නිවසද පරීක්ෂාවට ලක් කරමින් සිටියි. ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගුවන් තොටුපළේදී සහ ආරක්ෂක අංශ වෙතින් දක්වන දැඩි ගෞරවය සහ ලිහිල් පරීක්ෂා කිරීම්, මෙම ජාවාරම්කරුවන් විසින් සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉතා නින්දිත ලෙස භාවිතා කර ඇති බව ඉතා පැහැදිලිය.

අල්ප මාත්‍රික මුදලක් වන රුපියල් අසූදහසක් වැනි සුළු ගණනකට මේසා විශාල අපරාධයකට ඇතැම් හිමිවරුන් සම්බන්ධ වීම පිටුපස ඇති සැබෑ ඛේදවාචකය කුමක්ද? අනෙක් අතට, කිසිදු නිකායක හෝ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමකගේ නිසි අවසරයකින් තොරව මෙම තරුණ හිමිවරුන් විදෙස්ගත වූයේ කෙසේද යන්න බරපතල ගැටලුවකි. ඇතැම් පාර්ශව මෙය සැලසුම් සහගතව පැටලූ මලපඩුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද, එකම හැඩයේ ගමන් මලු 22ක් එකවර රැගෙන එන විට ඒ පිළිබඳව කිසිදු සැකයක් මතු නොවීම ප්‍රායෝගික නොවන බැවින්, සැබැවින්ම මෙහි මහා මොළකරුවන් සහ මත්ද්‍රව්‍ය මිලදී ගන්නා ප්‍රධාන ජාවාරම්කරුවන් කවුරුන්ද යන්න තවමත් අභිරහසකි.



පූජනීය චීවරය මුවාවෙන් සමාජය විනාශ කරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ අදෘශ්‍යමාන හස්තය කපා නොදමන්නේ නම්, හෙට දිනයේදී අපට අහිමි වන්නේ රටේ අනාගතය පමණක් නොව, දහස් ගණනක් වූ සිල්වත් සැබෑ යතිවරයන් වහන්සේලා කෙරෙහි පවතින උත්තරීතර ගෞරවයයි.



gossiplanka collage