
මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පස්දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.
පසුගිය 2026 අප්‍රේල් මස 22 වන දින මට්ටක්කුලිය දෙල්ගහවත්ත හන්දියට ආසන්න කැලණි ගං තීරයේදී ශ්‍රී කන්දන් නාන්තික් කුමාර් නමැති පුද්ගලයාව ගෙල සිරකොට ජලයේ ගිල්වා මෙලෙස මරා දමා තිබිණි.
ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මෙම කුරිරු අපරාධය සිදුකර ඇත්තේ දැනට විදේශගතව සැඟවී සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද වන 'පලනි රිමෝෂන්' සහ 'කොටහේන අරවින්' යන අයගේ ඍජු මෙහෙයවීම සහ උපදෙස් මතය.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අප්‍රේල් 25 වන දින පමුණුගම, පෑලියගොඩ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 15 සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 23ත් 36ත් අතර සීමාවේ පසුවන පුද්ගලයින් පස්දෙනෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 750ක ප්‍රමාණයක් සහ ජංගම දුරකථන තුනක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස සහ අදාළ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

