ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන බොලිවුඩයේ 'බාද්ෂා' හෙවත් ෂාරුක් ඛාන්ගේ සුවිශේෂී රංගන ප්‍රතිභාව අගයමින් ඇකඩමි සම්මාන උළෙල (The Academy Awards) විසින් පසුගියදා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඔහු වෙත විශේෂ උපහාරයක් පුද කරනු ලැබීය. 2007 වසරේ තිරගත වූ 'ඕම් ශාන්ති ඕම්' (Om Shanti Om) චිත්‍රපටයේ එන ඔහුගේ අතිශය ජනප්‍රිය දෙබස් ඛණ්ඩයක් සහ රංගන ජවනිකාවක් එක් කරමින් බොලිවුඩයේ රජුට ආචාර කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.
"දෛවය පිළිබඳව කිව හැකි එකම දෙය නම්... එය කිසිදා වරදින්නේ නැති බවයි" යනුවෙන් එහි සටහන් කර තිබූ අතර, ෆාරා ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය ෆාරා ඛාන්, මුෂ්තාක් ෂීක් සහ මයුර් පූරි විසින් සිදු කළ බවත්, ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, අර්ජුන් රාම්පාල්, ශ්‍රේයාස් තල්පඩේ සහ කිරොන් ඛේර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.ඇකඩමියේ මෙම සුවිශේෂී උපහාර සටහන අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් පවතින අතරතුර, ෂාරුක් ඛාන් විසින් ද ඊට සිය ප්‍රතිචාරය දක්වා තිබීම මෙම සිදුවීම තවත් අලංකාර කිරීමට හේතු විය. සිය ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි විශේෂාංගය හරහා ඇකඩමියේ සටහන යළි බෙදාගත් ඔහු, තමාට ආවේණික වූ විනෝදාත්මක මෙන්ම කෘතවේදී ශෛලියකින් යුතුව ඊට ප්‍රතිචාර දක්වා තිබුණි. "ඕම්ගේ දෙබස් තුළින් මා නැවතත් අතීත ආවර්ජනයකට රැගෙන ගියාට ඇකඩමියට ස්තූතියි. දැන් මට ඇත්තටම හැඟෙන්නේ මා ලෝකයේ රජු බවයි. හා හා" යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා ෆාරා ඛාන් ද සිය අදහස් දක්වා තිබූ අතර, ඇය ඇකඩමියට, ෂාරුක් ඛාන්ට සහ මයුර් පූරිට මෙන්ම එම සටහන තමා වෙත යොමු කළ සියලු දෙනාටම ස්තූතිය පළ කරමින් '#pictureabhibaakihainmeredost' යන හෑෂ්ටැගයද භාවිතා කර තිබුණි. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය වූ සම්භාව්‍ය චිත්‍රපටයක් ලෙස සැලකෙන 'ඕම් ශාන්ති ඕම්', අද්භූත පළිගැනීමක කතා පුවතක් සහ හාස්‍යය මනාව මුසු කළ නිර්මාණයකි. 1970 දශකයේ සහාය නළුවෙකු ලෙස කටයුතු කරන 'ඕම්', ඛේදවාචකයකින් මියගොස් දශක කිහිපයකට පසු යළි උපත ලබා සිය අහිමි වූ ආදරය සහ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම මෙහි කතා පුවතයි. දීපිකා පදුකෝන්ගේ සිනමා ගමනට විශිෂ්ට ආරම්භයක් ලබා දුන් මෙම චිත්‍රපටය තුළ ෂාරුක් ඛාන් ද්විත්ව චරිත නිරූපණයකින් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ අතර අර්ජුන් රාම්පාල්, ශ්‍රේයාස් තල්පඩේ සහ කිරොන් ඛේර් යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වයද මීට නොඅඩුව ලැබී තිබුණි.
මේ අතර, 2026 වසර බොලිවුඩයේ රජුට ඉතා කාර්යබහුල මෙන්ම සුවිශේෂී වසරක් වනු ඇති බවට තොරතුරු වාර්තා වේ. සිද්ධාර්ත් ආනන්ද්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන 'කිං' (King) නම් වූ දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටය සඳහා ඔහු සිය දියණිය වන සුහානා ඛාන් සමඟින් ප්‍රථම වතාවට රංගනයෙන් දායක වීමට නියමිතය. මෙම චිත්‍රපටය 2026 වසරේ දෙසැම්බර් 24 වැනිදා තිරගත වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර ඇත. මීට අමතරව, අල්ලු අර්ජුන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'රාකා' (Raaka) චිත්‍රපටයේ විශේෂ ආරාධිත රංගනයක් සඳහා ෂාරුක් ඛාන් 'ජවාන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඇට්ලී (Atlee) සමඟින් නැවතත් එක්වීමට ඉඩ ඇති බවද සිනමා කර්මාන්තය තුළ මේ දිනවල දැඩිව කතාබහට ලක්වෙමින් පවතී.

