
සාමාන්‍ය දෙමව්පියන් තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට දහසක් ප්‍රයත්න දරන යුගයක, ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් තමන්ටම කියා අලුත්ම පෞද්ගලික පාසල් ඉදි කිරීමේ අපූරු තරගයක නිරත වෙමින් සිටිති.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල මෙම නවතම ප්‍රවණතාව නිර්මාණය වී තිබේ. එරට දැවැන්ත ව්‍යාපාරිකයන් සහ සමාගම් ප්‍රධානීන් තමන්ගේම දරුවන්ගේ සහ තමන් වැනිම වූ අතිශය ධනවත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් නවීන පහසුකම්වලින් යුත් අති සුඛෝපභෝගී පාසල් ගොඩනැගීම මේ හරහා සිදුවේ.
කැලිෆෝනියාවේ සිට ෆ්ලොරිඩාවේ පාම් බීච් ප්‍රදේශයට සංක්‍රමණය වූ ප්‍රකට දේපළ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු වන ජෙෆ් ග්‍රීන් (Jeff Greene) මේ සඳහා කදිම උදාහරණයකි. ප්‍රදේශයේ ධනවත් පවුල්වල දරුවන්ට සුදුසු මට්ටමේ පෞද්ගලික පාසල් නොමැති බව දුටු ඔහු, පෙර පාසල් අවදියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන 'ද ග්‍රීන් ස්කූල්' (The Greene School) නමින් තමන්ගේම පාසලක් ආරම්භ කළේය. එය සාමාන්‍ය පාසලකට වඩා නවීන තාක්ෂණික කඳවුරක් බඳුය. පන්ති කාමරයක් සඳහා ගුරුවරුන් දෙදෙනෙකු බැගින් යොදවා ඇති අතර, ත්‍රිමාණ මුද්‍රණ පහසුකම් (3-D printing), ගුවන් නියමු පුහුණු යන්ත්‍ර මෙන්ම ළමුන් විසින්ම සැබෑ ගුවන් යානයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති ද එහි ක්‍රියාත්මක වේ. මීට අමතරව ටෙනිස් ක්‍රීඩා සහ රුවල් ඔරු පැදීමේ පහසුකම්වලින් ද මෙම පාසල සමන්විතය.
මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ ඇමරිකාවේ ප්‍රකෝටිපතියන් සහ ආයෝජකයන් විශාල වශයෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත මෑතකදී සංක්‍රමණය වීමත් සමගය. ඔවුන්ට මුදල් ගැටලුවක් නොමැති වුවද, තම දරුවන්ට අනාගතයේදී 'අයිවි ලීග්' (Ivy League) මට්ටමේ ලෝක පූජිත විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට මගපෙන්වන ඉහළ පෙළේ පාසල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම විශාල අර්බුදයක් විය. දිගුකාලීන පොරොත්තු ලේඛනවල (waiting lists) රස්තියාදු වනු වෙනුවට, ඩොලර් මිලියන සිය ගණනක් වියදම් කර තමන්ගේම පාසල් ඉදි කිරීමට ඔවුහු තීරණය කළහ. ස්ටීවන් රොස් සහ ඇඩම් නියුමාන් වැනි ප්‍රකෝටිපතියන් ද මේ වන විටත් මෙම පාසල් තැනීමේ තරගයට එක්ව සිටිති. ජෙෆ් ග්‍රීන්ගේ පාසලේ පමණක් වාර්ෂික පාසල් ගාස්තුව ඩොලර් 50,000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න) පමණ වන අතර, ජෝන් මාෂල් නම් ව්‍යවසායකයා ඇරඹු පාසලේ ගාස්තුව ඩොලර් 30,000කි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකෝටිපතියන්ගේ පාසල් ව්‍යාපෘතිවලට ප්‍රාදේශීය බලධාරීන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. නව පාසල් ඉදි කිරීම් සඳහා ඇතැම් ඓතිහාසික ගොඩනැගිලි හෝ පල්ලි පවා කඩා බිඳ දැමීමට ඔවුන් ක්‍රියා කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත. උදාහරණයක් ලෙස ව්‍යාපාරික ඇඩම් නියුමාන් තම පාසල ඉදි කිරීම සඳහා මියාමි ප්‍රදේශයේ පැරණි පල්ලියක් කඩා දැමීමත් සමග ප්‍රදේශවාසීන්ගේ දැඩි කෝපයට ලක් විය. මේ හේතුවෙන් අවසර ලබාගැනීමේ ගැටලු මතු වී ඇති බැවින් බොහෝ ව්‍යාපෘති තාවකාලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාමට සිදුව තිබේ.
අසීමිත මුදල් බලය හමුවේ අධ්‍යාපනය ද හුදෙක් තවත් එක් සුඛෝපභෝගී පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්වන අයුරු මේ හරහා මනාව පිළිබිඹු වන අතර, අනාගතයේදී සමාජ පන්ති පරතරය පාසල් බිත්තිවලින්ම තීරණය වන දිනය වැඩි ඈතක නොවන බවට මෙය කදිම පෙරනිමිත්තකි.
(Wall Street Journal ඇසුරිනි)

