hirunika-goes-to-the-high-commissioner-to-make-the-australian-citizen-suda-sick

ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන දිල්කා සමන්මලී මහත්මියට යූටියුබ් නාලිකාවක් හරහා සිදුකළ බරපතළ ලිංගික අපහාසයක් සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (03) ශ්‍රී ලංකාවේ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ 'සුදා ක්‍රියේෂන්' නමැති යූටියුබ් නාලිකාව මෙහෙයවන සුදන්ත තිලක්සිරි නැමැත්තා විසින් දිල්කා සමන්මලී මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ දේශපාලනික අදහසක් පදනම් කරගනිමින් මෙම අපහාසාත්මක ප්‍රකාශය සිදු කර ඇති බවයි.

වර්තමානයේ ඇය සක්‍රීය මාධ්‍ය ක්ෂේත්‍රයේ නොසිටියද, සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට එල්ල වූ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මෙන්ම කාන්තාවන් අතරද දැඩි කැලඹීමක් ඇති කිරීමට සමත් වී තිබේ.




මෙම සිදුවීම සම්බන්ධයෙන් දිල්කා සමන්මලී මහත්මියගේ පියා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ගොනු කර ඇත. ඇයගේ දෙමාපියන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන අතර, අගතියට පත් දිල්කා සමන්මලී මහත්මිය මෙන්ම අදාළ ප්‍රකාශය සිදු කළ සුදන්ත තිලක්සිරි යන දෙදෙනාම ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය (PR) හිමි පුද්ගලයෝ වෙති. ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය සැලකීමේදී, 2024 අංක 37 දරණ කාන්තා සවිබල ගැන්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ වන ප්‍රතිපාදන මෙන්ම 2024 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) යටතේද මෙවැනි අන්තර්ජාල අපහාස සහ ලිංගික හිංසනයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනියට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි බව පවසමින් ඇය ඉල්ලා අස්වී ඇති බැවින් එම ආයතනය හරහා සහනයක් ලබාගැනීමේ ගැටලුවක් උද්ගතව ඇති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියානු නීතියට අනුව මෙවැනි අන්තර්ජාලය හරහා සිදුකරන අපහාස කිරීම් සහ තර්ජනය කිරීම් ඉතා බරපතළ වරදක් ලෙස සැලකේ. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිය යටතේ කාන්තාවකට අපහාස කිරීම වෙනුවෙන් වසර තුනත් පහත් අතර සිරදඬුවමක්ද, අන්තර්ජාලය හරහා ලිංගික හිංසනයක් හෝ ජීවිත තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සිදු කිරීම වෙනුවෙන් වසර හතත් දහයත් අතර සිරදඬුවමක්ද නියම වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය හිමි පුද්ගලයින්ට එරට පුරවැසිභාවය ලබාදීමේදී සිදුකරන 'චරිත පරීක්ෂණය' (Character test) අසමත් වීමටද මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන් සෘජුවම බලපායි. ඒ අනුව, ඕස්ට්‍රේලියානු ආගමන විගමන නීතිය යටතේ අදාළ පුද්ගලයාගේ වීසා බලපත්‍රය අවලංගු කර ඔහුව රටින් පිටුවහල් කිරීමේ දැඩි අවදානමක් මේ හරහා නිර්මාණය වී ඇත.




කාන්තාවන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වන පසුබිමක, මේ වන විටත් දිල්කා සමන්මලී මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, එරට රජයට ලිපියක් යොමු කරමින් නිල වශයෙන් දැනුවත් කිරීමටද පියවර ගනිමින් සිටියි. දේශපාලනඥයින් ලෙස තමන් මෙවැනි වාග් ප්‍රහාරයන්ට මුහුණ දීමට හුරුවී සිටියද, දිල්කා සමන්මලී මහත්මිය නියෝජනය කළ පක්ෂය හෝ සේවය කළ ආයතනය කුමක් වුවත් කාන්තාවකට එරෙහිව සිදුවූ මෙම හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අනාගතයට වැදගත් පූර්වාදර්ශයක් වනු ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.