රුපියල් බිලියන 13.2ක දැවැන්ත අභ්‍යන්තර මූල්‍ය වංචාවක් නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව (NDB) තුළ සිදුවී ඇති බවට මේ වන විට තහවුරු වී ඇති අතර, ඊට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත්ව විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම බරපතළ තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු උපදෙස් මත විදේශීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලවා පූර්ණ වෝහාරික විගණනයක් (Forensic Audit) සිදුකිරීමට අදාළ බැංකුව මේ වන විට අවසන් කටයුතු සම්පාදනය කරමින් සිටින බව මහ බැංකුව නිවේදනය කර ඇත.
මෙම සමස්ත ක්‍රියාවලිය දෛනිකව ඉතා දැඩිව නිරීක්ෂණය කරන බව පවසන මහ බැංකුව, අපේක්ෂිත වෝහාරික විගණනය හරහා අදාළ වංචාවට සෘජුවම බලපෑ කරුණු පමණක් නොව තවත් අංශ ගණනාවක් ආවරණය කරන බව අවධාරණය කරයි. ඒ අනුව, අදාළ වංචනික ගනුදෙනු සිදුවූ කාලවකවානුව තුළදී බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය, අධීක්ෂණ කටයුතු සහ යහපාලන ප්‍රතිපත්තිවලට අදාළ නියාමන අවශ්‍යතාවලින් කිසියම් හෝ අපගමනයක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද මෙහිදී පූර්ණ ඇගයීමකට ලක් කෙරෙනු ඇත.
කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම විගණන ක්‍රියාවලියේ සියලුම ප්‍රගති වාර්තා, අන්තර්කාලීන සොයාගැනීම් සහ අවසන් විගණන වාර්තාව සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදීමට නියමිතව තිබේ. එසේම, විගණන කටයුතු අතරතුරදී අවශ්‍යතාවය පරිදි විගණකවරුන් සමග සෘජුවම සම්බන්ධ වීමට ද මහ බැංකුව අපේක්ෂා කරයි. මීට සමගාමීව, දැනට හඳුනාගෙන ඇති පාලන දුර්වලතා නිවැරදි කරමින් නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුවේ අභ්‍යන්තර පාලන සහ යහපාලන ව්‍යුහයන් වඩාත් ශක්තිමත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද මහ බැංකුව විසින් අදාළ බැංකු පාලනාධිකාරියට දැඩි උපදෙස් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුව තුළ සිදුවූ මෙම අක්‍රමිකතාව හේතුවෙන් නියාමනයට යටත් මෙරට වෙනත් කිසිදු මූල්‍ය ආයතනයකට මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි. එබැවින්, මෙම සිදුවීම පදනම් කරගනිමින් විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශයන්ට රැවටීමෙන් වළකින ලෙස මහ බැංකුව වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

