expose-the-scams---father-and-daughter-at-a-news-conference

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීන් විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කෙරිණි. දිනපතා අසන්නට ලැබෙන්නේ මහා පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ පුවත් බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ජාතික සංවර්ධන බැංකුවෙන් (NDB) රුපියල් මිලියන 10,000කට අධික මුදලක් අතුරුදන් වී ඇති බවත්, එහි සැබෑ පාඩුව මිලියන 20,000ක් දක්වා ඉහළ යා හැකි බවත් ප්‍රකාශ කළේය.

ඊට අමතරව ගල් අඟුරු වංචාව හරහාද රජයට අතිමහත් මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.




වඩාත් බරපතළ කාරණය වන්නේ මුදල් අමාත්‍යාංශය හරහා බදු ගෙවන්නන්ගේ මුදල් රුපියල් මිලියන 800ක් ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ සිද්ධිය බව හෙතෙම අවධාරණය කළේය. මෙවැනි බරපතළ වංචාවන් සඳහා මුදල් අමාත්‍යාංශයට නුසුදුසු නිලධාරීන් පත් කිරීම සෘජුවම බලපා ඇති බවට කිරිඇල්ල මහතා චෝදනා කළේය. දශක දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ, ශ්‍රී ලංකාවේ පරිපාලන සේවය හෝ නීති රීති පිළිබඳ කිසිදු පළපුරුද්දක් නොමැති හිටපු දේශපාලනඥයෙකු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීම ඔහු දැඩි ලෙස විවේචනය කළේය. මුදල් මුදාහැරීමක් සඳහා නිලධාරීන් 18 දෙනෙකුගේ අත්සන් අවශ්‍ය වන පසුබිමක මෙය පැහැදිලි සොරකමක් බවත්, දේශපාලන හිතවත්කම් මත සිදු කර ඇති මෙම පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා වගකිව යුතු බවත් ඔහු පැවසීය. එබැවින් වහාම අදාළ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

යහපාලන ආණ්ඩු සමය සිහිපත් කරමින් කිරිඇල්ල මහතා සඳහන් කළේ, එම කාලය තුළ දේශපාලන පලිගැනීම් වලින් තොරව අපක්ෂපාතීව වැඩ කළ හැකි දක්ෂ රාජ්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගත් බවයි. එමෙන්ම, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් අය කළ වැට් බද්ද හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 800ක ආදායමක් ලැබුණු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ පන්සල් සඳහා පමණක් රුපියල් මිලියන 1000ක් ලබා දෙන තරමට භාණ්ඩාගාරය ශක්තිමත්ව තිබූ බවත් ඔහු පැවසීය. යහපාලන රජය බලයෙන් ඉවත් වන විට ඩොලර් මිලියන 7,800ක විදේශ විනිමය සංචිතයක් පැවති නමුත්, ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අදාළ බදු ආදායම අහිමි කිරීම හේතුවෙන් 2022 වසර වන විට රට මුළුමනින්ම බංකොලොත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.




මෙවැනි මහා පරිමාණ වංචාවන් සෙවීම සඳහා ජනාධිපති කමිටු පත් කිරීමෙන් පලක් නොමැති බවත්, ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ නීතිපතිවරයා නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් කිරිඇල්ල මහතා යෝජනා කළේය. එසේම වසර හතකට පෙර සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පිටු 25ක බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින්, සමාජ මාධ්‍ය හරහා විවිධ චෝදනා එල්ල නොකර අධිකරණ තීන්දුව ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව, මැදපෙරදිග කලාපයේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් යළි ගොඩනැගීම සඳහා වසර කිහිපයක් ගතවනු ඇති බැවින්, ඉදිරියේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වුවද, මුදල් අමාත්‍යාංශයේ සිදුවූ වංචාව සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාව (COPF) කිසිදු ආකාරයකින් දැනුවත් කර නොමැති බවයි. රාජ්‍ය ආයතන දේශපාලනීකරණය නොකරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් රජය, ඉහළ තනතුරු සඳහා පළපුරුද්දක් නොමැති දේශපාලන හිතවතුන් පත් කිරීම බලවත් වරදක් බව ඇය පෙන්වා දුන්නාය. ලබන මැයි පස්වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වූ පසු විපක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය සඳහන් කළාය.



උගන්ඩාවෙන් සඟවා ඇති මුදල් ගෙන එන බවට ජනතාවට පොරොන්දු වූ ආණ්ඩුව, දැන් ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයින් ගෙන්වාගෙන කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරිය, බිලියන ගණනක මහජන මුදල් වෙනත් ගිණුම් වලට මාරු වීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයක් බව අවධාරණය කළාය. තම පක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටින පරිදි, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ තවදුරටත් ප්‍රමාද නොකර වහාම පවත්වන ලෙසද සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරිය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියාය.